Friday, September 27, 2019

කැළණී

දෙපා රිදෙනාකන්ම නැගලා
මුදුනෙදී සිරිපතුල් වඳිනා
සිහළ මුස්ලිම් කිතුණු උන්ගේ
කඳුළු උල්පත් වෙලා තිබුණා 

එහෙන් අරගෙන ආපු ජලකඳ
නොයෙක් ගම්බිම් මැදින් ගලලා
නපුරු කාලෙට දෙගොඩ තලලා
බලෙන් කඳුළුත් සඟව ගත්තා

මැදුරු බලපත් පර්මිෂන් ගෙන
කොකාකෝලා ෆැක්ටරියෙ නල
හොරෙන් ඇවිදින් ඉවුරු අසබඩ
උන්ගෙ විසකඳ උඹට දුන්නද

ජීවිතේ තරඟයෙන් පැරදුණ 
හඬාවැටෙනා හිත්ද වෙන්වුණ
ඉන්න බැරිතැන හංගගත්තද
සිරුරු තිබුණා දියේ පාවුණ

ඉන්න හිතෙනා රටක් කියලම
විසුණුකළ පැල්පතේ දුක්කඳ
අනේ ඒවත් කඳුළු වෙන්නැති
මුඩුක්කුවෙ කාණුවෙන් එක්වුණ

ඉවුරු දෙපසින් නුඹට පෙනෙනා
අතීතයෙ මතකයන් බෝමා
කවුරුවත් නොදකිනා තරමට
ගොඩක් දේවල් නුඹම දැක්කා

අතරමඟ වැරදුනත් ජීවිත
අතැර යන අපි වගේ නොව නුඹ
සයුර හමුවන තුරුම දවසක
ගලන හැටි වටිනවා දිගටම.....