Wednesday, June 10, 2020

...අවසානයට පසු


අවසානයෙන් පසු විසිවුණ 
කුණුරොඩු අතර ගැන්වුණ 
මකුළු වියනෙන් සුරැකුණ
කවුරුවත් ඇස නොගැටුණ
ඇතැම් පොතපත හමුවෙති
කිසිවෙක් බලා නිමවුණ

සිතුවිලි අන්ධ මොහොතක 
'නිමි' යන්න ඇස ගැල්වුණ
පිටු සියල්ලම අවසන
නිමක් ගැන නම් නොහිතුණ

නැවත අරගෙන දෝතට
පෙරළා නොරිදවා කවරෙට
බලනව දැනෙනවා එතකොට
පිටු සුවඳ ඇහැරවා මතකෙට

පරිච්ඡේදය පෙරළා දුක හිතුණු
ආයෙත් විඳිනවා උණුසුම් කඳුළු
එහෙම තැන්වලයි තාමත් බිඳුණු 
හිත නැවතිලා තිබුණෙ හිමි නොවුණු 

අකුරු අතර ඇමිණූ ආදරය
වැළඳගෙන ඇඟිලිතුඩු දිගුකර
කොමා ඇති තැන් පසුකර
තිත් හොයනවා පොත නිම කළ 

හදවතේ ගැඹුරුම කුටියක
සදාකාලෙට තැන්පත් කළ
තියනව ඇතැම් පොතපත
අවසානයට පසුවද
පෙරවදන ලියවුණ......

පළමු මිනිසා කවුද?

ලෝකයේ බොහෝ ආගම්වල මැවුම්කරුවෙකු ගැන සඳහන් වෙනවා. දෙවියන් විසින් මෙලොව සියලු දේ මැවූ බවත්, සියල්ල සිදුවන්නේ ඔහුගේ කැමැත්තට බවත්, මරණින් මතු ඔහු සමීපයට යා හැකි බවත් එවැනි ආගම්වල කියැවෙනවා. මිනිසාවද නිර්මාණය කළේ මේ දෙවියන් විසිනුයි. පළමු මිනිසා පිළිබඳව මූලෝත්පත්ති කතාවේ මේ පිළිබඳව විස්තර වෙනවා.

දෙවියන් විසින් ලෝකය නිර්මාණය කිරීමෙන් අනතුරුව තමන්ගේ ස්වරූපයට සමාන ව පළමු මිනිසා නිර්මාණය කළා. ඔහුගේ නම 'ආදම්'. ආදම්ගේ ඉල ඇටයකින් පළමු කාන්තාව වන 'ඒව' නිර්මාණය කළා. ඒ වගේම දෙවියන් විසින් මොවුන්ට 'ඊඩ්න්' නම් උද්‍යානයක් පවරා තිබුණා. එය මල්, පළතුරු පිරි අලංකාර උද්‍යානයක්. 

නමුත් මෙම උද්‍යානයේ තිබූ එක් ගසක ගෙඩි ආහාරයට ගැනීම දෙවියන් විසින් තහනම් කර තිබුණා. ඒ 'තහනම් ගස' යි. කෙසේ වෙතත් උද්‍යානයේ සිටි සර්පයෙක් මෙම ගෙඩි ආහාරයට ගන්නා ලෙස ඒව ව පෙළඹෙව්වා. ඒ අනුව ආදම් සහ ඒව මෙම ගසේ ගෙඩි ආහාරයට ගත්තා. ඉන්පසු මොවුන්ට තමන් නිරුවතින් සිටීම ගැන පළමුවරට ලැජ්ජාවක් ඇතිවුණා. මිනිසා මුලින්ම විළි වසා ගැනීමට යොමු වුණේ ඒ අනුවයි.

තහනම් ගසේ ගෙඩි අනුභව කළ බව දැනගත් දෙවියන් බොහෝ කෝපයට පත්වුණා. සර්පයින් මින්පසු පොළොවේ බඩගා ගෙන යා යුතු බවටත්, සියලු කාන්තාවන්ට දරුවන් බිහි කිරීමේදී දැඩි වේදනාවක් දැනිය යුතු බවටත්, සියලු මිනිස් වර්ගයාගේ ජීවිත මින්පසු දුක් වේදනා සහිත විය යුතු බවටත් ඔහු ශාප කළා. මොවුන් දෙදෙනාව උද්‍යානයෙන් ද පන්නා දැමුවා. 

ඉන්පසු ආදම් සහ ඒව බිහිකළ දරු පරම්පරා වලින් වර්තමාන මිනිස් සංහතිය නිර්මාණය වූ බව එම කතාන්දරයේ කියැවෙනවා. 

මෙම කතාව විවිධ ආගම් වල විවිධ වෙනස්කම් සහිතව සඳහන් වෙනවා. ඒ ඒ ආගම් අනුව මෙම ලෝක පාලක දෙවියන්ට විවිධ නම් තිබෙනවා. ඒ වගේම ඇතැම් විශ්වාසයන් වල එක් දෙවියෙකු නොව දෙවියන් සමූහයක් ගැන කියැවෙනවා. නෝර්ස්වරු හා ග්‍රීක්වරු මෙසේ දේව සමූහයක් ඇදහූ අයයි.

නෝර්ස්වරුන්ගේ ප්‍රධාන දෙවියා වන්නේ 'ඕඩින්'. ඕඩින් දිනක් තම මිත්‍ර දෙවිවරුන් සමඟ මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියා. එහිදී ඔවුන්ට කෙලින් අතට සිටුවා තිබෙන ලී කඳන් දෙකක් හමුවුණා. එක් ලී කඳකින් 'ආස්ක්' නැමැති පළමු මිනිසාවද, අනෙක් ලී කඳෙන් 'එම්බිලා' නැමැති පළමු කාන්තාවද ඔවුන් විසින් නිර්මාණය කළ බව කියැවෙනවා.

මේ අනුව පළමු මිනිසා පිළිබඳව ලොව පුරා විවිධ විශ්වාසයන් සහ කතන්දර පවතිනවා. විවිධ ආගම් සහ ඇදහිලි ක්‍රමවල විවිධාකාරයෙන් මේ පිළිබඳව විස්තර වෙනවා. නමුත් විද්‍යාත්මකව සැලකූ විට ලොව පළමු මිනිසා කවුද? Dr. Richard Dawkins විසින් රචිත The magic of reality ග්‍රන්ථයේ මේ ප්‍රශ්නයට පිළිතුර අපූරු උදාහරණයකින් පැහැදිලි කරනවා.

අපි මනෝමයෙන් මෙහෙම උපකල්පනයක් කරමු. ඔබ ඔබේ ඡායාරූපයක් අතට ගන්නවා. ඉන්පසු ඔබේ පියාගේ ඡායාරූපයක් ද, පියාගේත් පියාගේ ඡායාරූපයක් ද, පියාගේ පියාගේත් පියාගේ ඡායාරූපයක් ද ආකාරයට පෙර පරම්පරා වල ඡායාරූප එකතුවක් පෙළගස්සනවා. මෙය මනෝමයෙන් උපකල්පනය කර ගැනීමක් පමණයි. මෙලෙස අප ඡායාරූප මිලියන 185ක් පමණ එක පෙළට තබනවා. ඒ කියන්නෙ පරම්පරා මිලියන 185ක්. 

දැන් අපි මේ ඡායාරූප එකතුව දිහා බලමු. අපි මෙහි කෙළවරේම තිබෙන ඡායාරූපය අරන් බැලුවොත් එහි ඉන්නෙ මාළුවෙක්. ඒ කියන්නෙ ඔබේ මිලියන 185 වෙනි මී මුත්තා මාළුවෙක්.

250 000 වෙනි ඡායාරූපය අතට අරගෙන බැලුවම ඒකෙ ඉන්නවා චිම්පන්සියෙකුට සමාන පෙනුමක් තිබෙන වානරයෙක්. මිලියන 70 වෙනි ඡායාරූපයේ උණහපුළුවෙක් වැනි සතෙක් ඉන්නවා. මිලියන 170 වෙනි ඡායාරූපයේ කටුස්සෙක් වැනි උරගයෙක් ද, මිලියන 175 වෙනි ඡායාරූපයේ දියහූනෙක් වැනි උභය ජීවියෙක් ද සිටිනවා. මේ ආකාරයටයි අපේ පෙර පරම්පරා ගොඩනැගී තිබෙන්නේ.

මේ අනුව අපට පළමු මිනිසා යනුවෙන් කෙනෙක් ගැන කතාකරන්න බැහැ. අද සිටින මිනිසා නිර්මාණය වී තිබෙන්නේ මෙසේ ක්‍රමානුකූලව සිදු වූ පරිණාමීය ක්‍රියාවලිය නිසයි. එක් ජීවී ආකාරයකින් තවත් ජීවී ආකාරයක් බිහිවීමත් එක් රැයකින් සිදු වූවක් නෙමෙයි. ඒ සඳහා පරම්පරා ගණනාවක සුළු සුළු වෙනස්වීම් හේතු වුණා. 

ජීවයේ සම්භවයත්, මානව පරිණාමයත් අධ්‍යයනය කිරීමෙන් අපට මිනිසාගේ ඇත්ත මූලෝත්පත්ති කතාව දැනගන්න පුළුවන්. කලින් සඳහන් කළ මිත්‍යා කතා වගේ නෙමෙයි, ඒක අපූර්ව රසවත් කතන්දරයක්...

Wednesday, May 6, 2020

අම්මා සහ මිහිකත



අයිත්මාතව්ගෙ ලේඛන ශෛලියෙ මොකක් හරි මායාවක් තියනවා කියලයි මට හිතෙන්නෙ. 'ගුරු ගීතය' කියන පුංචි කතාවෙත්, 'සියවසක් පවත්නා දවස' කියන දිගු කතාවෙත් එක සමානව හදවතට වදින, දැනෙන ගලායාමක් තිබෙනවා. සෝවියට් සාහිත්‍යයෙන් මුළු ලෝක සාහිත්‍යයම පෝෂණය වුණා කියන කතාව පිළිනොගෙන බෑ. එක අතකට 'අම්මා සහ මිහිකත' කියවීමත් භාග්‍යයක්.

අම්මා කෙනෙක් මිහිකත සමඟ කරන සංවාදයක් ලෙස කතාව දිව යනවා. රුසියානු විප්ලවයෙන් පසු දෙවන ලෝක යුධ සමයේ එක් අයිලයක අම්මා කෙනෙක් වටා කතාව ගොඩනැගී තිබෙනවා. ජීවිතයේ බොහෝ දුර ගෙවී ගිය පසු මතකාවර්ජනයට ඇය මිහිකත මුණගැසෙනවා. මිහිකත ඇයව සාදරයෙන් පිළිගන්නවා.

"පෘථිවි මාතාවෙනි, සුවන්තුල් සහ කසීම් වැනි පුද්ගලයින් මිය යන විට කඳු පාත් නොවන්නේත්, ඇළ දොළ ගංඟා උතුරා නොයන්නේත් මන්ද?"

ඒක ඉතාමත් අසීරු ප්‍රශ්නයක්. ඔවුන් ජීවත් ව සිටියදී මේ මහපොළොව ට ආදරය කළා. පොළොව වපුරා සාරවත් කළා. සතා සිව්පාවුන් පණ මෙන් රැක බලා ගත්තා. දැන් ඔවුන්ට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වී ඇත. එවන් වටිනා මිනිසුන් වෙනුවෙන් සොබාදහම ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ මන්ද? ප්‍රශ්නය නම් එවන් වටිනා ජීවිත අහිමි කළේ කවුද යන්නයි. ඒ යුද්ධය යි. 

"යුද්ධ නිසා සම්පූර්ණයෙන් ම අහෝසි වී ගිය ජනතා ගැන මම දනිමි. යුද්ධය නිසා ගිණිබත් වී විනාශ වුණු නගර තිබුණා. මිනිසා ගේ පා සටහන් දැකීමට මා සිහින දුටු ශතවර්ෂ තිබුණා. මිනිසුන් යුද්ධ පටන් ගත් සැමවිටම, මම ඔවුන්ට මෙසේ කියා සිටියෙමි, නවත්වනු! ලේ ගැලීම් නවත්වනු!"

මිහිකතට අනුව යුද්ධයෙන් ජය ගන්නෙක් නැත. යුද්ධය යනු ඛේදවාචකයක් ම පමණි.

"ලෝකයේ සියලු රටවල මිනිසුන් අප මෙන් ඔවුන් ගේ පුතුන්, සොයුරන්, පියවරුන් සහ සැමියන් බලාපොරුත්තුවෙන් සිටිති නම්, ඔවුනට අප මෙන් ආදරය කළේ නම් කිසි දිනක මිහිපිට යුද්ධයක් ඇති නොවනු ඇත."

යුද්ධයෙන් විනාශ වන්නේ මිනිස් ජීවිතයි. මව්වරුන්ට දරුවන් නැති වේ. දරුවන්ට පියවරුන් නැති වේ. යුද්ධය අහිමි වීම් වලින් පිරුණු ශෝකාන්තයකි. මිහිකත මෙහෙම කියනවා.

"දැන් දු මම මෙසේ කියමි. කඳුළු වලට එහා, සාගරයට එහා ජීවත්වම ජනයිනි,! මේ ලෝකයේ ජීවත් වන ජනයිනි, නුඹලාට ඕනෑ මොනවා ද? පෘථිවිය ද? මෙන්න මා තමයි, පෘථිවිය. මම සියලු දෙනාටම එක හා සමානයි. නුඹලා සියලු දෙනාම මට එක හා සමානයි. නුඹලා සියලු දෙනාට ම මගේ පෘථිවියේ ඉඩ තිබේ."

හමේ පැහැයට, ඇදහිල්ලට, භූමියට, බලයට යුධ වදින ලෝකයේ මිහිකත අපට කියන්නේ එයයි. ඉතිහාසය පුරාම ලේ වැගිරීම්, කඳුළු හෙලීම් පිරී තිබෙනවා. දහස් ගණනක් හදවත් නිකරුණේ මිහිදන් වෙලා තිබෙනවා. ඒවා හොඳින්ම දන්නේ පෘථිවි මාතාව පමණයි. අපි දැන්වත් මිහිකතට ඇහුම්කන් දිය යුතු යි. ඇය අප සියල්ලන්ගේ ම අම්මා ය. ඇය පවසන දේ දැන්වත් පිළිගත යුතු යි.

" කුඩා පැළයක් සිටුවපල්ලා. මම නුඹලා ට ඵල බරිත රුකක් දෙන්නම්.."

රාහු කේතු

ජ්‍යෝතිෂ්‍ය කියන්නෙ ලංකාවේ ජන ජීවිත සමඟ තදින් ම බැඳුණු ශාස්ත්‍රයක්. කොටින්ම රට පාලනය කරන දේශපාලඥයින් පවා තීන්දු තීරණ ගැනීමේදී මූලික වශයෙන් ජ්‍යෝතිෂ්‍ය සලකනවා. බොහෝ ජනමාධ්‍ය ආයතනවල පවා ජ්‍යෝතිෂ්‍ය වැඩසටහන් වලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා. ජ්‍යෝතිෂ්‍ය උපදේශකවරුන් බොහොමයක් ද රට පුරා දැකගන්න පුළුවන්.  


මෙම ජ්‍යෝතිෂ්‍ය පදනම් වන්නේ නවග්‍රහයින් ලෙස සැලකෙන ග්‍රහයින් නම දෙනෙකු, මිනිසාට සිදු කරන බලපෑම මතයි. එම නවග්‍රහයින් වන්නේ රවි, චන්ද්‍ර, බුධ, ශුක්‍ර, කුජ, ගුරු, ශනි, රාහු හා කේතු යි. මෙම ග්‍රහයින් සමහරක් තාරකා විද්‍යාවේදී ද අපට හමුවෙනවා. එනම් සූර්යයා, චන්ද්‍රයා, බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු යි. නමුත් නවග්‍රහයින් අතර සිටින රාහු හා කේතු අපට කිසිම තැනක දැකගන්න ලැබෙන්නේ නෑ.

පෙරදිග ජ්‍යෝතිෂ්‍යයේ ඡායා ග්‍රහයින් ලෙසත්, අපරදිග ජ්‍යෝතිෂ්‍යයේ ස්ථාන දෙකක් ලෙසත් රාහු හා කේතු හඳුන්වනවා. ජ්‍යෝතිෂ්‍යයේ විස්තර වන ආකාරයට අනෙක් ග්‍රහයින් මෙන් රාහු හා කේතු දෘශ්‍යමානවන ග්‍රහයින් දෙදෙනෙකු නොවේ. කොටින්ම රාහු හා කේතු ලෙස කිසිම වස්තුවක් පිහිටන්නේ නෑ. පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරන ගමන් මාර්ගයත්, සූර්යයා වටා පෘථිවිය ගමන් කරන ගමන් මාර්ගයත් දළ සටහනක නිරූපණය කළ විට, එම ගමන් මාර්ග දෙක ස්ථාන දෙකකින් ඡේදනය වෙනවා. එම ස්ථාන දෙකයි රාහු හා කේතු ලෙස ඔවුන් හඳුන්වන්නේ.



තවද එහි සඳහන් ආකාරයට මෙම ස්ථාන දෙකේ අධික බලයක් පවතිනවා. එමනිසා මිනිසාට මෙම ග්‍රහයින් මගින් විශාල බලපෑමක් සිදුකළ හැකියි. ජ්‍යෝතිෂ්‍යයේ සෑම ග්‍රහයෙකුට ම රූපමය නිරූපණයක් දී තිබෙනවා. ඒ අනුව රාහුට නාග හිසක් සහ මිනිස් ශරීරයක් තිබෙනවා. කේතු එහි විරුද්ධ ස්වභාවය. කේතුට මිනිස් හිසක් සහ නාග ශරීරයක් තිබෙනවා. රාහුගේ දශා කාලයන් වලදී මිනිසාව වැඩිපුර ඇවිද්දවනවා යැයි ද, කේතුගේ දශා කාලයන් වලදී ඔත්පල ව එකතැන සිටිනවා යැයි ද එහි සඳහන්. 



කෙසේ වෙතත් ඕනෑම දෙයක සත්‍යය තේරුම් ගැනීමට නම් අප එහි ඓතිහාසික පසුබිම හැදෑරිය යුතුයි. මිනිසාට ස්වභාවධර්මය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි කාලවලදී, ඔවුන් ස්වාභාවික වස්තුවලට විශාල බියක් දැක්වූවා. එමනිසා එම වස්තු දේවත්වයෙන් අදහන්නට ඔවුන් පෙළඹුණා. පෘථිවිය එකම තැන පිහිටන බවත්, සූර්යයා ඇතුළු ආකාශ වස්තු පෘථිවිය වටා යමින් මෙලොව පාලනය කරන බවත් ඔවුන් විශ්වාස කළා. එම විශ්වාසයන් මත පදනම්වයි ජ්‍යෝතිෂ්‍ය බිහිවුණේ. 

තවද ඇතැම් රාත්‍රී කාල වලදී ඔවුන් බිහිසුණු සිදුවීමක් දුටුවා. අහසේ පායා තිබුණු සඳ එකවරම වැසී ගියා. වෙනත් භයානක ග්‍රහයෙක් ඇවිත් සඳ ගිල දමන්නට ඇතැයි ඔවුන් සිතුවා. ඔවුන් බියපත් කළ එම ග්‍රහයාව රාහු ලෙස නම් කළා. 



එමෙන්ව ඇතැම් දිනවල දිවා කාලයේ හිරු එකවරම අඳුරු වුණා. තවත් භයානක ග්‍රහයෙකු ඇවිත් හිරු ගිල දමන්නට ඇතැයි ඔවුන් විශ්වාස කළා. එම භයානක ග්‍රහයාව කේතු ලෙස නම් කරා. 

රාහු සහ කේතු යන ග්‍රහයින් දෙදෙනා බිහිවන්නේ ඒ අනුවයි.

නමුත් සැබවින්ම සිදු වූයේ එවැන්නක් නොවේ. පළමු සිදුවීම වන්නේ චන්ද්‍රග්‍රහණයයි. එහිදී සූර්යයාත් චන්ද්‍රයාත් අතරට පෘථිවිය පැමිණෙනවා. එවිට සූර්යයාගේ ආලෝකය, පෘථිවිය ට ආවරණය වීම නිසා චන්ද්‍රයා ට නොලැබී යනවා. මේ නිසා සඳ අඳුරු වෙනවා. කිසිවෙකු විසින් සඳ ගිලගන්නේ නැහැ. දෙවැනි සිදුවීම වන්නේ සූර්යග්‍රහණය යි. පෘථිවිය හා සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණීමෙන් සූර්යයා නොපෙනී යනවා. කිසිවෙකු සූර්යයා ව ගිලින්නේ නැහැ. එය එසේ වුවද අදත් අප රාහු සහ කේතුගෙන් අපල සිදුවන බව විශ්වාස කරගෙන සිටිනවා. 



සූර්යයා සහ චන්ද්‍රයා ගෙන් පෘථිවිය ට බලපෑමක් වන බව විද්‍යාත්මකව අප දන්නවා. නමුත් මිනිසෙකුගේ අනාගතය තීරණය කිරීමටත්, අනාවැකි පැවසීමටත් එම වස්තු වලට බලයක් ඇත් ද යන්න නැවත සිතා බැලිය යුතුයි. ඒ කෙසේ වෙතත් සැබෑවට නොපවතින රාහු සහ කේතුගෙන් එවැනි බලපෑමක් වේ යැයි කෙසේ විශ්වාස කරන්න ද? වෙනත් රටවල් විසින් ඈත අභ්‍යවකාශයේ තවත් ජීවීන් සිටීදැයි ගවේෂණය කරද්දී, අප තවමත් රාහු සහ කේතුගේ අපලවල ට බියවීම හාස්‍යජනක නොවන්නේ ද? ප්‍රශ්න කිරීම ඔබට බාරයි.



Monday, April 27, 2020

අවුරෝරා

මේ විශ්වය පුරා අපට දැකගන්න පුළුවන් අපූර්ව සංසිද්ධි බොහොමයක් තිබෙනවා. 'අවුරෝරා' කියන්නෙත් එවැනි චමත්කාරජනක ස්වාභාවික සංසිද්ධියක්. නමුත් සමකාසන්න රටක් වශයෙන් 'අවුරෝරා' කියන වචනය අපට කිට්ටු නෑ. එහෙත් වෙනත් ආකාරවලින් මේ නම අපට අහන්න ලැබිලා තිබෙනවා. විශේෂයෙන් 1917 රුසියානු විප්ලවයෙදි සාර් රජුගේ ශීත මාළිගයට පහරදීමට යොදාගැනුණු යුධ නැවේ නම අවුරෝරා. තවද ග්‍රීක දෙවියන් අතරින් හිමිදිරියට අධිපති දෙවඟන වන්නේත් අවුරෝරා දෙවඟන. එම දෙවඟනගේ නමින් තමයි මෙම සංසිද්ධියත් නම් කරන්නෙ.

  සූර්යයාගේ මතුපිට සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන් නිසා තාපය, ආලෝකය මෙන්ම විවිධ ආරෝපිත අංශූන් නිකුත් වෙනවා. අප මෙය 'සූර්යය සුළඟ' ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් මෙසේ පිටවන ආරෝපිත අංශු වන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන අධික වේගයෙන් විසිරී යනවා. පෘථිවි සීමාවේදී පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නිසා මෙම අංශු උත්තර හා දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශ වලට ඇදී යනවා. එහිදී අපේ වායුගෝලයේ ඇති වායු වර්ගවල මෙම ආරෝපිත අංශු ගැටෙනවා.

මෙම ගැටීම් නිසා වායු පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම්වලට ගමන් කරනවා. එවිට එම පරමාණු ශක්තිය අධික, අස්ථායි තත්ත්වයට පත්වෙනවා. නැවත ස්ථායි වීමේදී එම ශක්තිය ෆෝටෝන ලෙස පිටකරනවා. ඒ නිසා විවිධ වර්ණවල ආලෝකයන් නිකුත්වෙනවා. මෙන්න මේ නිසා අපට ධ්‍රැවාසන්න ප්‍රදේශවල අහසේ විවිධ වර්ණ වලින් යුත් අලංකාර රටා දැකගන්න පුළුවන්. මේ චමත්කාරජනක සංසිද්ධිය තමයි 'අවුරෝරා' නමින් හඳුන්වන්නෙ.

සාමාන්‍යයෙන් සැතපුම් 60ක් පමණ ඉහළ ස්ථරවල ඇති ඔක්සිජන් අණුවල ගැටීමෙන් කහ/කොළ පැහැයක්ද, සැතපුම් 200ක් පමණ ඉහළ ස්ථරවල ඔක්සිජන් සමඟ ගැටීමෙන් රතු පැහැයක්ද නිකුත්වෙනවා. නයිට්‍රජන් වායු අණු සමඟ ගැටීමෙන් නිකුත්වෙන්නෙ දම්/රෝස වැනි පැහැයක්. මෙසේ විවිධ ස්ථරවල ඇති විවිධ වායු අණු සමඟ ගැටීමෙන් විවිධ වර්ණ හටගන්නවා. ඒ වගේම මේවා නොයෙක් අලංකාර රටා වලින්ද දැකගන්න පුළුවන්.

උත්තර ධ්‍රැවයේ හටගන්නා මෙම ආලෝක Aurora borealis ලෙසද, දක්ෂිණ ධ්‍රැවයේ හටගන්නා ඒවා Aurora australis ලෙසද හඳුන්වනවා. මේවා නිරීක්ෂණය පහසු වෙන්නෙ ශීත කාලවල. එම කාලවල ඉතා දිගු රාත්‍රියක් පවතින නිසා පැහැදිලිව දැකගන්න පුළුවන්.

අප ජීවත්වන මේ පෘථිවිය ඇතුළු විශ්වය අපූර්වතම වාසස්ථානයක්. විශාල පුදුමයන් හා අභිරහස් බොහොමයක් අප අතර පවතිනවා. සොබාදහම සම්බන්ධ දැනුම ගවේෂණයෙන් අපට බොහෝ විශ්මයජනක තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒවායේ විද්‍යාත්මක පසුබිමද හදාරන්න පුළුවන්. දුර ඈත පිහිටි තාරකා, ග්‍රහ වස්තු වලට අපගේ ඉරණම් බාර නොදී, නිවැරදිව ලෝකය තේරුම් ගැනීම සඳහා දැනුම ගවේෂණය කිරීම ඉතාමත් වැදගත්.

මේ link එකෙන් අවුරෝරා වල photos බොහොමයක් බලන්න පුළුවන්.   https://unsplash.com/s/photos/aurora-borealis

Saturday, April 25, 2020

කොරෝනා දුන් වල්ගාතරු?

මෑතකදී ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතනයක වැඩසටහනකදී එක්තරා අනාවැකි කරුවෙක් 'වල්ගාතරු' සම්බන්ධ ව ප්‍රකාශයක් සිදු කළා. ඔහු එහිදී සඳහන් කළේ කොරෝනා වෛරසයට හේතුව වල්ගාතරුවක් බවයි. මේ ප්‍රකාශයත් සමඟම සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල කතාබහක් ඇති වූ බැවින් වල්ගාතරු සම්බන්ධ ව යම් තොරතුරු ප්‍රමාණයක් බෙදාගන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. 


  ඉතා ඈත අතීතයේදී මිනිසුන් ස්වභාවික වස්තු හා සංසිද්ධි වලට බියක් දැක්වූවා. විද්‍යාව නොදියුණු එම කාල වලදී මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු සියලු දේ අදහන්නත්, පුදන්නත් ඔවුන් යොමු වුණා. අහසෙ දක්නට ලැබුණු තරු ඇතුළු ආකාශ වස්තු ඔවුන් සැලකුවෙ දෙවිවරු විදියට. අහසේ සිට එම දෙවිවරු මෙලොව සියලු දේ පාලනය කරනු ඇතැයි ඔවුන් සිතුවා. ජ්‍යෝතිශ්‍ය වැනි විෂයන් බිහිවුණේ එවැනි විශ්වාස මත පදනම් වෙලා. වල්ගා තරුවක් අහසෙ දිස්වුණේ ඉතාම කලාතුරකින්. මේ නිසා එය සුවිශේෂි හෝ අසුභ පෙරනිමිත්තක් ලෙස ඔවුන් විසින් සැලකුවා. 

1950 දි ජාක් ඌට් නම් තාරකා විද්‍යාඥයා විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් යෝධ වලා පටලයක් තිබෙන බව සොයා ගන්නවා. මේ වලා පටලය වල්ගා තරු න්‍යෂ්ටි මිලියන ගණනකින් සමන්විතයි. මේ අසලින් යෝධ තරුවක් ගමන් කිරීමෙන් එහි ගුරුත්වාකර්ෂණය නිසා වල්ගාතරු න්‍යෂ්ටි ඉවතට විසි වෙනවා. ඒවා සූර්යයාගේ ගුරුත්වයට හසුවෙලා සෞරග්‍රහ මණ්ඩලය තුල චලනය වෙන්න ගන්නවා. එම වලා පටලය, එය සොයාගත් විද්‍යාඥයාගේ නමින් ඌට් වලාව (oort cloud) ලෙස පසු කලෙක නම් කරනවා. 

වල්ගා තරුවක් හිරු වටේ ගමන් කරන ආකාරය අනුව ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. 
1) ආවර්ත වල්ගාතරු (periodic comets)
2) ආවර්ත නොවන වල්ගාතරු (non periodic comets)

ආවර්ත වල්ගා තරු අනෙක් ග්‍රහලෝක වගේ හිරු වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරනවා. ඒ නිසා පෘථිවියටත් සමීපව නිරීක්ෂණය වෙන අවස්ථාවක් එනවා. ආවර්ත නොවන වල්ගාතරු හිරු අසලින් ගමන් කරමින් විශ්වයේ ඈතට ඇදී යනවා. ඒ නිසා එවැනි වල්ගාතරු පෘථිවිය ට නිරීක්ෂණය වෙන්නෙ එක් වරක් පමණයි. මේවා නැවත පැමිණෙයි කියලා හරියටම කියන්න අපහසුයි.


වල්ගාතරු න්‍යෂ්ටිය හැදිලා තියෙන්නෙ දුහුවිලි සහ අයිස් අංශු වලින්. හිරුට ලංවන විට මෙම අයිස් දියවෙනවා. දූවිලි හා වායූන් වල්ගයක් ආකාරයට විහිදෙනවා. සෑම විටම මෙම වල්ගය පිහිටන්නෙ හිරුගෙන් ඉවතට. හිරුට ලංවන විට වල්ගය දිගු වන අතර හිරුගෙන් ඈත්වන විට වල්ගය ක්‍රමයෙන් කුඩාවෙලා සාමාන්‍ය ගෝලාකාර හැඩයට දිස්වෙනවා. 

'හෙලිගේ වල්ගාතරුව' කියන්නෙ පෘථිවිය ට පැහැදිලිව දර්ශනය වන වල්ගාතරුවක්. එය හිරු වටා වටයක් ගමන් කරන්න වර්ෂ 76ක පමණ කාලයක් ගතවෙනවා. ඒ නිසා පෘථිවිය ට නිරීක්ෂණය වන්නෙත් වසර 76කට වරක්. අවසන් වරට හෙලිගේ වල්ගාතරුව දිස්වුණේ 1986දි. මේ අනුව 2061 හෝ 2062 දි මෙම වල්ගාතරුව නිරීක්ෂණය කරන්න පුළුවන්. 


කලින් සඳහන් කළා වගේම නොදියුණු යුගයන් වලදී මෙවැනි ආකාශ වස්තු වලට මිනිසුන් බියවුණා. නමුත් කාලයත් සමඟ මේ සම්බන්ධව නිවැරදි තොරතුරු අනාවරණය කරගන්න මිනිසාට පුළුවන් වුණා. ඒ වගේම තවමත් අනාවරණය කර නොගත් දැනුම් පද්ධති බොහොමයක් මේ විශ්වය තුළ තිබෙනවා. එලෙස තිබියදී පටු ව්‍යාපාරික හා දේශපාලනික අරමුණු වෙනුවෙන් මිත්‍යා මත පෝෂණය කරමින් සමාජය පසුගාමී කරන පුද්ගලයින් ඕනෑ තරම් දැකගන්න පුළුවන්. එවැනි මිත්‍යාවන් පරාජය කළ හැකි වන්නේ දැනුම හඹායාම හා සමාජගත කිරීමෙනුයි. 

Tuesday, April 14, 2020

සියවසක් පවත්නා දවස



එක අතකින් මේ දවස් හරිම අවිනිශ්චිතයි. බලාපොරොත්තු සහගත ව ජීවිතය ගැන හීන දකින්න සහ ඉතිහාසයට යට කරපු වැරදුණු, රිදුණු, දැනුණු හැමතැනක් ම ආයෙත් අවුස්සලා කියවලා බලන්න අවස්ථාවක් උදාවෙලා තියනවා. ඒත් මේ දවස් හරිම අවිනිශ්චිත යි.

නොපෙනෙන බලවේගයක් වගේ ඇවිත් කොයි මොහොතේ අනාගතය හකුලවා ගනීද? ඒ අසුභවාදී සිතුවිල්ල පැත්තක තියලා කතා කරමු. කෙළවරක් නැතුව ගලන මහවැලිය වගේ ජීවිතේ ගෙවුණු රටාව එකපාරටම නැවතිලා. රස විඳින්න, කියවන්න වගේම හිතන්නත් අවස්ථාවක් ලැබිලා. ඇත්තටම අපි කාලයක් තිස්සෙ හිතන එක නවත්තලා තිබුණෙ.

අවුරුදු ගාණක් පුරාම සුවනොවූ තුවාල ආයෙත් රිද්දලා බලන්න. හිත හදාගත්තා නෙමෙයි, වේදනාවට හුරු වුණා කියලා කියන අඳුරු මතක ආයෙත් අවුස්සන්න. ඔව් මට අවාසනාවන්ත විදියට වැරදුණා කියලා හිතෙන අතීතය ආයෙත් එළියට අරන් කියවන්න. මේක හිතන්න ලැබුණු පුදුමාකාර අවස්ථාවක්.

මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තණභූමි හරහා මළ සිරුරක් සමඟ මිනිසුන් කිහිප දෙනෙක් ගමනක් යනවා. මේ ස්ටෙප්ස් භූමිය පුරාම පුරාවෘත හා කතන්දර බොහොමයක් පැතිරිලා තියනවා.  මුතුන් මිත්තන්ගෙ ජීවිත වලින්, ඔවුන්ගෙ වික්‍රමයන්ගෙන්, ඒ වගේම කඳුළින් මේ භූමිය සාරවත් වෙලා. මහලු 'යෙදිගෙයි' ට මේ දීර්ඝ ගමන හිතන්න ලැබුණු හොඳ අවස්ථාවක්. අතීතය දිගහරින්න ලැබුණු හොඳ මොහොතක්. 

'සියවසක් පවත්නා දවස' නවකතාවක්. ගුරුගීතය, සමුගනිමි ගුල්සාරි, වේලාසන කොක්කු ඇවිත් කතුවරයා වන චින්ගීස් අයිත්මාතව්ගෙ තවත් එක් කතාවක්. එහි උණුහුම විඳින්න අයිතිය තියෙන්නෙ පිටු 495ක් කියවන්න හයිය තියන පොත්ගුල්ලන්ට විතරයි. මිනිස් ජීවිත වල සුවඳ පිටු පුරා හමන මේ කතාව අපිට මතක් කරනවා හිතන්න. අපේම කතාව ආයෙත් කියවන්න. 

අපිට පුළුවන් 'අබුතාලිප්' වගේ වෙන්නත්. ඒ දේවල් ලියන්න. වැරදුණු තැන් ගැන, මූසල හෝරාවන් ගැන, නපුරු අත්දැකීම් ගැන පොතක කුරුටු ගාලා තියන්න. ජාතික ආරක්ෂාව, නීතිය නාමයෙන් ඒවා අසම්මත නැත්නම් තව කෙනෙකුට කියවන්න ඒවා ඉතිරි වෙලා තියේවි. නැත්නම් අබුතාලිප් වගේ මැරිලා යාවි. 

කොහොම වුණත් ආයෙත් අපිට හිතන්න මොහොතක් ලැබෙන එකක් නෑ. මානව ශිෂ්ටාචාරය වෙනුවෙන් දවසින් දවස නොහිතාම ගත කරන්න අපිට වේවි. කාලය, කොරෝනා ව්‍යාප්තිය වගේ ඉක්මනට ගෙවිලා යාවි. ටෙලියක, චිත්‍රපටයක සංවේදී දර්ශනයකදි ඇරෙන්න අපේ කතාවට අඬන්න අපිට මඟ හැරේවි. 

ඉතිං, අද දවස සුවිශේෂි යි. අන් කවරදාටවත් වඩා අද දවස වැදගත්. මොකද අද තමයි 'සියවසක් පවත්නා දවස'.

නොනිමි කවිය සේකර

 කවියෙකු, ගීත රචකයෙකු, නවකතා කරුවෙකු, කෙටිකතා කරුවෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නාට්‍ය රචකයෙකු ලෙස ලාංකේය කලා කෙතෙහි ඔහු තබා ඇති සලකුණ අමරණීය ය. ඒ නොමියෙන මිනිසා ගැන හා ඔහුගේ කවිය ගැන කෙටි විග්‍රහයක් මෙලෙස සටහන් කරමි.

ඒ 1929 වර්ෂය යි. ගම්පහ රඳවාන ප්‍රදේශයේ පදිංචි මහගමගේ ජෝන් අප්පුහාමි හා රණවක ආරච්චිගේ රොසලින් දෙපළට දාව අප්‍රේල් 07 වන දින සේකර උපත ලැබී ය. ඔහු පවුලේ එකම දරුවා යි. කුඩාකල සිටම ගැමි පරිසරය සමඟ බැඳුණු ඔහු රඳවාන පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කිරිඳිවැල පාසලට ඇතුල් විය. ඉන්පසු චිත්‍ර හා මූර්ති ශිල්පය පිළිබඳව හැදෑරීමට කොළඹ ටෙක්නිකල් කොලීජියට බැඳුණේ ය. පාසල් ගුරුවරයෙකු, භාෂා පරිවර්තකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් නිශ්පාදකවරයෙකු, අධ්‍යාපන නිළධාරියෙකු හා ලලිත කලා ආයතනයේ විදුහල්පති ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ගතවිය. ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනයක් ලියමින් සිටියදී ඇති වූ හෘදයාබාධයකින් 1976 ජනවාරි 14 දින ඔහු මෙලොවින් සමුගත්තේ ය. 


වසර 47ක කෙටි ජීවිත කාලය තුල ඔහු කලාවෙහි තබා ඇති සලකුණ අදටත් නොමැකී ඇත. සම්මානනීය ගේය පද රචකයෙක් වන අතරම කවි සාහිත්‍ය පෝෂණය සඳහා කාව්‍ය ග්‍රන්ථ 8ක් ඔහු අතින් ලියැවී ඇත. ව්‍යංගා, සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි හා ප්‍රබුද්ධ ඒවා වේ. 

අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට

ඒ ගමනේ මට හමු වන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වාගෙම ඔබ හැමටත්
යම් දවසෙක හමු වනු ඇත

දෙපය බැඳෙන මළ පුඬුවෙන්
ඔබ යන මඟ ඇහිරී
බොරුව ඉසින අයස මඬින
ගත කිලි කුණු තැවරී
කැට මුගුරින් පහර ලබා
දුබල අතින් පොළොව බදා
මා දමන් ඔබ ඒ දවසේ
අසරණ වී වැළපෙන විට
මා ලිව් කවි මට වාගෙම
ඔබ හැමටත් පොදු වනු ඇත

මිනිස් ජීවිතයේ සියලු අක්මුල් ඔහුගේ කවිවල ලියැවී ඇත. දුක් කම්කටොලු වේදනා වගේම දවසක ඒ සියල්ල අවසන් කර නව ලොවක් බිහිවේවා යි යන බලාපොරොත්තුව ද ඔහුගේ කවිවල ඔබ්බවා ඇත. ඒ සඳහා යන ගමනේ ඇති බාධක ද, ඒවා උපේක්ෂාවෙන් උසුලන හැටි ද, පෙරලා පහර දෙන හැටි ද ඔහු කියයි. ඔහුගේ කවිය එවැනිය. ඔහු අපෙන් ඉල්ලන්නේ මෙය යි.

සබඳ ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න..

මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟ දැන
ඔබේ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගත හොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත.

ඒ මල් තුළ මා දකින්න.

මිනිසුන් එවන් ගමනක් යා යුතුව තිබිය ද පෞද්ගලික ප්‍රතිලාභ, සැප සම්පත් වෙනුවෙන් මිනිස්කම පාවාදෙන අයුරු ඔහු විවේචනය කරයි.

මා කවි ලියන අතර
මා මිතුරෝ
පොළව බෙදා වෙන් කරගෙන
ඒ මත රන් දිරියෙන්
ඇත් අස් රිය පිරිවර සෙන්
මහ මන්දිර ගොඩ නැගුවෝ
නිලතල ගරු බුහුමන්
රජ මැතිඳුන්ගෙන් ලැබුවෝ

ඔහුගේ කවිය සරල ය. ඕනෑම අයෙකුට අවබෝධ වන බස් වහරකින් සමන්විත ය. එමෙන්ම ඒවා මුවහත්‍ ය. පහර දිය යුතු තැනට ඍජුවම පහර දෙයි. මහපොළොව බෙදා වෙන්කරගෙන, ජාති ආගම් කුල වශයෙන් බෙදී වෛරය වපුරමින් මිනිසුන් ගෙවන ජීවිත වලට ඔහු එරෙහි වෙයි. සියලු දෙනාම එකතු වී එකම ගමනක් යා යුතු බව ඔහු දකියි.

ධර්මෙ
කාසිම් 
රාජසුන්දරම්
මෙහෙ වරෙල්ලා
අපි ඔක්කොම එකතුවෙලා 
මේ ලෝකය
යහපත් තැනක් කරමු මීට වැඩි ය

ඔහු ආදරය පිළිබඳව තබන සටහන ද ආදරණීය ය. හුදු ලෞකික ප්‍රේමයෙන් ඔබ්බට ගිය පුළුල් සමාජ ආදරයක් ගැන ඉඟි සපයයි. පෞද්ගලිකත්වය ඉක්මවූ ගැඹුරු ආදරයක් ගැන කතා කරයි. තම කවිය තුළ ආදරයේ සොඳුරු බව විදහා දක්වයි.

නොකීමුත් වචනයක් කිසිවිට
දරා ඉන්නා නමුත් සිත යට
වසන් කරනට බැරිය එය මට
දෙනෙත දෙනෙතින් බැඳී ගිය විට

ගැඹුරු තරමට සයුරු දියකඳ
තරඟ මතුපිට නිහඬ වන්නෙ ය
කළය ජලයෙන් පිරෙන තරමට
එයින් එන හඬ අඩුව යන්නෙ ය

සමාජයේ ව්‍යාජ ප්‍රතිරූපයට ඔහු ප්‍රබල පහරක් එල්ල කරයි. බාහිර ස්වරූපය මත සියල්ල මනින, මුදලට බලයට සියල්ල යටවූ සමාජය ඔහු උපහාසයට ලක් කරයි.

සිටියෝ විසිත්ත කාමරයෙහි
කළු කබා මහත ටයි
තරබාරු ප්‍රභූවරු
ගරුතර මැති ඇමතිවරු
පිටිකර රැළි වැටුණු
කඳ බඩ හොඳින් ආරපු
සංස්ථා ලොක්කෝ
සහ පෙරකදෝරුවෝ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසාගත්
රජයේ වරම් ලැබූ
ව්‍යාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අඳින
ඡන්දයට සල්ලිත් දෙන

සිටියෝ මෝරපු ගැහැණු
බැන්ද උස් කොණ්ඩා හා
ඝණ දෙතොල් උල් නිය ඇති
අඩවන් තඩිස්සි ඇස් 
ඉඟ දෙපසින් එල්ලෙන මස්
විජිනිපත් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොණින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්

ජීවිතය ගැන පමණක් නොව මරණය ගැනද ඔහු පන්හිඳ හසුරවයි. මරණය යනු ජයග්‍රාහී, සුන්දර අත්දැකීමක් බව 'නොමියෙමි' හි ඔහු කවි ගන්වා ඇත.

පතුල සිඹින වසින වරල
ඝණ මේ කුළු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි ඇලි
ගලන දුහුල රමණී
නිලන නිලඹ සිහිලඹ පිරි
නයන පොකුණු සොබනී
සසර කතර ගිම් සනහන
කෙම්බිම ඔබ මරණී

ඔහුට සිහිනයක් තිබුණි. ඔහුට පමණක් නොව වඩා හොඳ සමාජයක් පතන සියල්ලන්ටම එම සිහිනය ඇත. ඒ වෙනුවෙන් සේකර කවි ලීවේ ය. කලාව හැසිරවී ය. එම සිහිනය වෙනුවෙන් දිවි කැපකල, දහඩිය කඳුළු මුදාහල සියල්ලන් ගැනම ඔහු සිහිපත් කරයි. ඔවුන්ගේ කැපකිරීම් නිසා නව ලොවක් බිහිවන බව අවධාරණය කරයි.

පුත!
හෙට ඔබ පිබිදෙන විට
පෙර ගිරගින්
ලා රත්පැහ අරුණළු 
අලුත් ඉරක් පායනු ඇත
ඒ ඉර රත් පැහැ වූයේ
ඔබ වෙනුවෙන්
මේ පරපුර
අප
වැගිරූ ලේ වලිනුයි!

එබැවින් සේකර යනු නොමියෙන කවියෙකි. නොනිමි කවියකි. 

Monday, April 13, 2020

වෛරස



කවුද මේ වෛරස

වෛරස කියන්නෙ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක්. දෙවන ලෝක යුද්ධයට පසුව ලෝකයේ ඇතිවුණු දරුණුතම ව්‍යසනය ඇති කරන්න පුංචි වෛරසයකට පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා වෛරස පිළිබඳව සරල විද්‍යාත්මක හැඳින්වීමක් ඉදිරිපත් කරන එක තමයි මේ ලිපියෙ අරමුණ.

වෛරස කියන්නෙ ජීවියෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් ජීවියෙක්ද නැද්ද කියලා තීරණය කරන ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ශ්වසනය, පෝෂණය, බහිස්‍රාවය හා ප්‍රජනනය වගේ ලක්ෂණ ජීවින් සතුව තිබිය යුතුයි. නමුත් වෛරස ජීවී ලක්ෂණයක් ලෙස බොහෝවිට පෙන්වන්නෙ ප්‍රජනනය හෙවත් තම වර්ගයා බෝ කිරීම පමණයි. ඒ සඳහාත් වෛරසයක් අනිවාර්යයෙන්ම වෙනත් ජීවියෙකුගෙ දේහයේ සෛලයක් තුළට ඇතුල් විය යුතුයි. මේ නිසා වෛරස ජීවියෙක් විදියට නොසලකා, ආසාදන ඇති කිරීමේ හැකියාවක් සහිත අංශුවක් විදියටයි සලකන්නෙ.

20nm - 300nm පමණ වන ඉතාමත් කුඩා අංශු විශේෂයක් වන වෛරස නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂයක් භාවිතයෙන් පමණයි. ඒ වගේම විවිධාකාර හැඩ සහිත වෛරස වර්ග තිබෙනවා. විසිතල, හේලික්සාකාර, සූත්‍රිකාකාර, හිස හා වලිගය ආකාර කියන්නෙ එවැනි හැඩ කිහිපයක්. පෘථිවිය පුරාම පැතිරුණු වෛරස දර්ශ මිලියන ගණනක් තිබෙනවා. මිනිසුන්ට සතුන්ට පමණක් නෙමෙයි ශාකවලටත් කොටින්ම බැක්ටීරියා වලටත් ආසාදනය වෙන්න වෛරස වලට පුළුවන්. ශාක වලට ආසාදනය වන වෛරස ශාක වෛරස ලෙසත්, සතුන්ට ආසාදනය වන වෛරස සත්ත්ව වෛරස ලෙසත්, බැක්ටීරියා වලට ආසාදනය වන වෛරස බැක්ටීරියා භක්ෂක වෛරස ලෙසත් අපට වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නෙ කිසිම ජීවියෙකුට වෛරස වලින් බේරිලා ඉන්න පුළුවන් කමක් නෑ.



එක් වෛරසයක් සැලකුවම එහි පිටතින්ම තිබෙන්නෙ ප්‍රෝටීන සංයෝගවලින් හැදුණු ප්‍රෝටීන කොපුවක්/ආවරණයක්. වෛරසයේ හැඩය තීරණය වෙන්නෙ, වෛරසයට ආරක්ෂාව ලැබෙන්නෙ මේ ප්‍රෝටීන කොපුව නිසා. ප්‍රෝටීන කොපුවට ඇතුළතින් තිබෙන්නේ වෛරසයේ හරය. එහි අපි වෛරස ගෙනෝමය කියලා හඳුන්වන ප්‍රවේණික ද්‍රව්‍යය තිබෙනවා.

ප්‍රවේණික ද්‍රව්‍යය විදියට ක්‍රියාකරන්නෙ න්‍යෂ්ටික අම්ල (nucleic acid). න්‍යෂ්ටික අම්ල වර්ග දෙකක් තිබෙනවා. Deoxyribo Nucleic Acid (DNA) හා Ribo Nucleic Acid (RNA). සාමාන්‍යයෙන් ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍යය වෙන්නෙ DNA පමණයි. නමුත් වෛරස වල RNA පවා ප්‍රවේණික ද්‍රව්‍යය විදියට ක්‍රියා කරනවා. නමුත් කිසිම විටක වෛරස වල DNA හා RNA දෙකම එකවිට පවතින්නෙ නෑ.

වසූරිය වෛරසය, හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය හා බොහෝ බැක්ටීරියා භක්ෂක වෛරස වල DNA ත් ඉන්ෆ්ලුවන්සා වෛරසය, HIV, සරම්ප වෛරසය හා බොහෝ ශාක වෛරසවල RNA ත් පිහිටා තිබෙනවා.

ඒ වගේම හරය තුළ එන්සයිම එකක් හෝ කිහිපයක් පවතින්න පුළුවන්. පොලිමරේස් එන්සයිමය වෛරසයේ න්‍යෂ්ටික අම්ල (DNA හෝ RNA) ගුණනය වෙන්න උදව් වෙනවා. රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිමය වෛරසයේ RNA මඟින් DNA සංස්ලේෂණය කරන්න උපකාරී වෙනවා.

සමහර සත්ත්ව වෛරස වල ආවරණ කොපුවෙ ග්ලයිකො ප්‍රෝටීන වලින් හැදුණු කණ්ඨක පිහිටනවා. අපි දකින වෛරස ඡායාරූප වල උල් හැඩයෙන් තිබෙන්නෙ මෙම කණ්ඨක. යම් පෘෂ්ඨයක ඇලී ඉන්න මේවා උදව් වෙනවා.

වෛරසයක් ජීවී සෛලයක් අසළට පැමිණියාම සෛලයේ පිටත පෘෂ්ඨය තදින් අල්ලා ගන්නවා. ඉන්පසු වෛරස හරයේ ඇති ද්‍රව්‍යය (න්‍යෂ්ටික අම්ල හා එන්සයිම) සෛලය තුලට නිකුත් කරනවා. මෙම ද්‍රව්‍යය සෛලයේ සම්පූර්ණ පාලනය තමන් අතට ගන්නවා. සෛලය මෙතෙක් සිදුකල සියලු ක්‍රියා නවත්වලා වෛරසයට අවශ්‍ය ප්‍රෝටීන සංස්ලේෂණය කරන්න හා න්‍යෂ්ටික අම්ල ගුණනය කරගන්න මෙම සෛලය භාවිතා කරනවා. මේ අලුත් ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල එකතු වෙලා නව වෛරස විශාල ප්‍රමාණයක් නිපදවා සෛලයත් විනාශ කරගෙන පිටවෙනවා. ඔය විදියටයි ජීවි සෛල ඇතුලෙදි වෛරස තම වර්ගයා බෝ කිරීම සිදුකරන්නෙ.

වෛරස වලට තනිවම සංචරණය කරන්න හැකියාවක් නෑ. ඒ නිසා සෘජු ස්පර්ශය, වාහකයින් (මදුරුවන්) , කෙළ බිඳිති ආදී ආකාර වලිනුයි වෛරස සම්ප්‍රේෂණය වෙන්නෙ.

දුම්කොළ පත්‍ර විචිත්‍ර රෝගය, ටියුලිප්මේනියාව ආදි ශාකවලට සෑදෙන වෛරස් රෝග විශාල ප්‍රමාණයක් තිබෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව, වසූරිය, ජලභීතිකාව, පෝලියෝ, ඒඩ්ස්, ඩෙංගු, සෙංගමාලය, පැපොල, සරම්ප, කම්මුල්ගාය, කහ උණ හා covid-19 කියන්නෙ වෛරස මඟින් මිනිසාට සෑදෙන රෝග කිහිපයක්

සාමාන්‍යයෙන් ඕනෑම ජීවියෙක්ගෙ ප්‍රවේණික ද්‍රව්‍යය (DNA) ප්‍රතිගුණනය වෙනකොට අහඹු ලෙස වැරදීම් වෙන්න පුළුවන්. මේ නිසා විකෘති හටගන්නවා. DNA වලටත් වඩා RNA ප්‍රතිගුණනයේදි මේ වගේ විකෘති හටගැනීමේ හැකියාව වැඩියි.
ඒ නිසා වෛරස වල න්‍යෂ්ටික අම්ල (DNA හෝ RNA) ප්‍රතිගුණනය වීමේදී විකෘති ඇතිවෙලා වෙනස් වෙනස් වෛරස් ප්‍රභේද ඇතිවෙන්න තිබෙන හැකියාව වැඩියි. ජීවියාගෙන් ජීවියාට වගේම එකම ජීවියෙකුගෙ සෛලයෙන් සෛලයටත් වෙනස්වීම් වලට භාජනය වුණු වෛරස නිපදවෙනවා. එමනිසා මෙම රෝගවලට ප්‍රතිකාර කිරීමත් මර්දනය කිරීමත් ඉතාමත් අපහසුයි. නව වෛරස් ප්‍රභේද ඉදිරියටත් බිහිවීමට තිබෙන හැකියාව වැඩියි.



කොරෝනා කියන්නෙ වෛරස වර්ගයක් නෙමෙයි, වෛරස පවුලක්. සෙම්ප්‍රතිශ්‍යාවෙ ඉඳලා දරුණු ශ්වසන රෝග දක්වා රෝගාබාධ ඇතිකරන්න මෙම පවුලේ වෛරස වලට පුළුවන්. සාමාන්‍යයෙන් සතුන් අතර පැවතිලා මිනිසුන්ට සම්ප්‍රේෂණය වෙනවා. තවම මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවුණු වෛරස් වර්ගත් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරස වල ප්‍රවේණික ද්‍රව්‍යය විදියට තිබෙන්නෙ RNA අණුවක්. SARS, MERS, නවකොරෝනා (nCoV) කියන්නෙ මෙම පවුලට අයත් වෛරස වර්ග. නව කොරෝනා වෛරසය මඟින් සෑදෙන රෝගී තත්ත්වය COVID-19 ලෙස හඳුන්වනවා.

කලින් සඳහන් කරපු විදියට වෛරස රෝග වලට ප්‍රතිකාර කිරීම අපහසුයි. ඒ නිසා වැදගත් වෙන්නෙ රෝගයෙන් ආරක්ෂා වීම හා රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම. මේ වනවිටත් ඒ සඳහා සෞඛ්‍ය අංශවලින් උපදෙස් මාලාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීමෙන් මේ ව්‍යසන තත්වයෙන් ගොඩ එන්න අපට පුළුවන්.

නවකොරෝනා වෛරසයේ ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂීය ඡායාරූප කිහිපයක් මේ link එකෙන් බලන්න පුළුවන්.
http://www.mri.gov.lk/2020/02/15/images-of-new-coronavirus-just-released-by-livescience-com/

දැනගමු - රැකගමු (ශ්‍රී ලංකාවේ සර්පයින් )




මේ විශ්වය පුරාම ග්‍රහවස්තු විශාල ප්‍රමාණයක් තිබුණත්, ජීවය පවතිනවා කියලා තාමත් සැලකෙන්නෙ අපේ පෘථිවියෙ විතරයි. මේ අපූර්ව ග්‍රහලෝකයේ සුන්දරත්වය වැඩි කරන්නෙ මෙහි තිබෙන ජෛව විවිධත්වය විසින්. ගැඹුරු මුහුදු පත්ලේ හා ගහක මුල් විහිදෙන පසේ යටම ස්තරවල සිට කුරුල්ලෙකු ඉගිලෙන ඉහළම අහස් සීමාව දක්වා ජෛව ගෝලය පැතිරිලා තිබෙනවා. මෙහි සෑම ජීවී විශේෂයක්ම අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට ඉතාමත් වැදගත්. කොටින්ම අපේ ඇසටවත් නොපෙනෙන ක්ෂුද්‍රජීවීන් නොසිටියා නම් මිනිසුන් ලෙස අපට පැවැත්මක් නෑ. ඉතින්, සොබාදහමට වැදගත් එවැනි ජීවි කාණ්ඩයක් ගැනයි අද අපි කතා කරන්නෙ.

සර්පයින් කිව්වම සමහරවිට අපට දැනෙන්නෙ පිළිකුල් සහගත හෝ බියජනක හැඟීමක්. ඔවුන්ගේ පෙනුමත්, බොහෝ මිනිස් මරණ ඔවුන්ගේ දෂ්ටන නිසා සිදුවී තිබීමත් මෙයට හේතු වෙනවා. ඒ වගේම සාහිත්‍යයේ, ජනප්‍රවාදවල හා චිත්‍රපටවල පවා සර්පයින් ගැන විවිධ මත, කතන්දර පළ වෙලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් සර්පයින් කියලා කියන්නෙ සොබාදහමට ඉතාමත් වැදගත් සත්ත්ව කාණ්ඩයක්. අප ආරක්ෂා කරගත යුතු ජීවි කාණ්ඩයක්. 

ජීවී වර්ගීකරණයේදි ඇනිමාලියා රාජධානියේ, කෝඩේටා වංශයේ, රෙප්ටීලියා වර්ගයට සර්පයින් ඇතුළත්. ලංකාව කියන්නෙ ජෛව විවිධත්වයෙන් අනූන රටක් නිසා සර්ප විශේෂ 105ක් අපට දැකගන්න ලැබෙනවා. එයිනුත් සර්ප විශේෂ 50ක්ම මෙරටට ආවේණික යි. පරිසරයේ සමතුලිතතාව (Ecological balance) ආරක්ෂා කිරීමට මොවුන්ගෙන් විශාල සේවයක් සිදු වෙනවා. සර්පයින් ආහාර දාමවල ඉහළ මට්ටම්වල යැපෙන්නන්. මොවුන් මාංශ භක්ෂක යි. ඉතා කුඩා කෘමීන්ගේ සිට මුවන්, කිඹුලන් වැනි සතුන් පවා ගොදුරු කරගන්න සර්පයින් ට පුළුවන්. මීයන්, කෘමීන් වැනි සතුන්ගේ අසාමාන්‍ය බෝ වීම පාලනය කරන්න සර්පයින් වැදගත් වෙනවා. 



ඒ වගේම සර්ප විෂෙහි අඩංගු ජෛව සංඝටක වෛද්‍ය විද්‍යාවේ නොයෙක් ඖෂධ නිපදවීම සඳහා භාවිතා කරනවා. පිළිකා, සරම්ප, හිමෝෆීලියාව, ලාදුරු, මහාමාරිය, ඇදුම හා ඇතැම් ස්නායු රෝග සඳහා ඖෂධ නිපදවන්න මෙම විෂ යොදාගන්නවා. විශේෂයෙන් නාගයින්ගේ විෂෙහි ඇති cytotoxins පිළිකා ප්‍රතිකාර වලට භාවිතා කරනවා. 

ජලජ, භෞමික හා රුක්වාසි ලෙස වගේම පවතින විෂ අනුවත් සර්පයින් ව සරලව වර්ග කරන්න පුළුවන්. ඒ අනුව උග්‍රවිෂ, මඳවිෂ, සුළුවිෂ හා නිර්විෂ ලෙස කාණ්ඩ 4කට ඔවුන්ව බෙදා දක්වනවා. ලංකාවේ සිටින සර්ප විශේෂ 105න් විශේෂ 21ක් උග්‍රවිෂ සහිත සර්පයින්. එයිනුත් විශේෂ 15ක්ම මුහුදු සර්පයින්. මුහුද ආශ්‍රිතව වෙසෙන ජලජ සර්පයින් වන මොවුන් බහුලව දැකගන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම මොවුන් නිසා සිදුවන දෂ්ටන වාර්තා වෙන්නේත් ඉතාමත් කලාතුරකින්. ගොඩබිම වෙසෙන උග්‍රවිෂ සර්ප විශේෂ 5ක් මීට පෙර නම් කර තිබුණ ද මෑතක දී 'කුණකටුවා' ත් එම ගොනුවට ඇතුලත් වුණා. ඒ අනුව ලංකාවේ ගොඩබිම වෙසෙන උග්‍රවිෂ සහිත සර්ප විශේෂ 6 වන්නේ, 
1.නාගයා
2.තෙල් කරවලා
3.මුදු කරවලා
4.තිත් පොළඟා
5.වැලි පොළඟා
6.කුණකටුවා


මඳවිෂ සහිත සර්ප විශේෂ 3ක් හමුවෙනවා. කඳුකර මූකලන් තෙලිස්සා, පහතරට මූකලන් තෙලිස්සා හා පළාපොළඟා යන එම විශේෂ 3ම ලංකාවට ආවේණික යි. සුළු විෂ සර්ප විශේෂ 14ක් දැකගන්න පුළුවන්. (උදා: ඇහැටුල්ලා, නිදිමාපිලා, පොල්මල් කරවලා) ඉතිරි විශේෂ සියල්ලම නිර්විෂ හෙවත් කිසිම විෂක් නොමැති සර්පයින්. (උදා: අහරකුක්කා, කටකළුවා, ගැරඬියා, දියනයා, දෙපත්නයා)

සර්පයින් පරිසරයට කෙතරම් වැදගත් වුවත් ලංකාවේ බොහෝ දෙනා ඔවුන්ව දුටුතැන මරා දමන්න පෙළඹෙනවා. සර්පයින් ගැන නිවැරදි දැනුමක් අවබෝධයක් නොමැති කමත්, සමාජය පුරා පැතිරිලා තිබෙන ඇතැම් මිත්‍යා විශ්වාසත් මීට හේතු වෙනවා. ගැරඬියෙකු සපා කෑ විට වෙනත් කිසිම සර්පයෙකු සපා නොකන බව එවැනි මුල්බැසගෙන තිබෙන මතයක්. ගැරඬියා යනු අඩුකුලේ සර්පයෙකු බවත්, අනෙකුත් සර්පයින් කුලයෙන් උසස් බවත්, ඒ නිසා ගැරඬියෙකු සපා කෑ විට කුලමානය නිසා අනෙක් සර්පයින් සපා නොකන බවත් මෙහිදී කියැවෙනවා. එවැනි හාස්‍යජනක මිත්‍යා මත වගේම යම් විද්‍යාත්මක පදනමක් නිසා ගොඩනැගුණු මිත්‍යා මතත් සමාජයේ පවතිනවා. 


ලේමාපිලන් රාත්‍රියේදී නිදා සිටින මිනිසුන්ගේ ලේ උරා බොන බවත්, නිදිමාපිලන් නින්දේ සිටියදී මිනිසුන් මරණයට පත් කරන බවත් කියැවෙනවා. මේ සර්ප විශේෂ දෙකම සුළුවිෂ සර්ප විශේෂ බැවින් ඔවුන්ට මිනිසුන් මරණය ට පත් කිරීමට තරම් ප්‍රබල විෂක් නෑ. ඒ වගේම කිසිම සර්පයෙකු ලේ උරා බොන්නේ නැහැ. මේ මිත්‍යා විශ්වාස නිසා මෙවැනි සර්ප විශේෂ බොහෝ වශයෙන් මිනිසුන් අතින් මරණයට පත්වෙනවා. 

ඇහැටුල්ලන් මිනිසුන්ගේ ඇස් උගුල්ලනවා යැයි මතයක් පවතිනවා. නමුත් සිදුවන්නේ රුක්වාසි සර්ප විශේෂයක් වන මොවුන් මිනිසාගේ ඇස් මට්ටමේ ශාක වල වාසය කරන නිසා, රාත්‍රියේ මිනිස් ඇසේ දිලිසීමට බිය වී ඊට පහරදීමට පෙළඹීමයි.  නමුත් ඇස් උගුල්ලනවා වැනි දෙයක් සිදුවන්නේ නෑ. එමෙන්ම එක් සර්පයෙකු මැරූ විට තවත් සර්පයින් 7 දෙනෙකු පැමිණේ යැයි පවතින මතයේ යම් විද්‍යාත්මක පදනමක් තිබෙනවා. නමුත් 7 යන සංඛ්‍යාව මිත්‍යාවක්. සර්පයින් තම විරුද්ධ ලිංගිකයින් ආකර්ෂණය කර ගැනීමට 'පෙරමෝන' නම් ස්‍රාවයක් නිකුත් කරනවා. සර්පයෙකු තැලුණු විට හෝ මැරූ විට එම ස්‍රාවය නිකුත් වෙලා එම ඉවට විරුද්ධ ලිංගික සර්පයින් ඇදී එන්න පුළුවන්. ඒ අවට සර්පයින් සිටිනව ද නැද්ද යන්න මතයි ඒක තීරණය වෙන්නෙ. 



සර්පයින්ට බාහිර කන් පිහිටන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට ශබ්ද ඇසෙන්නේ නෑ. (ඔබ මතුරන මන්ත්‍ර ඔවුන්ට ඇහෙන්නේ නෑ) නමුත් පොළොවේ කම්පන වලට ඔවුන් ඉතාමත් සංවේදියි. නයි නටවන්නන් නළාව පිඹිමින් නයින් නටවක ආකාරය ඔබ දැක ඇති. එහිදී සිදුවන්නේ නයි නටවන්නා විසින් නළාව පිඹින අතරම තම පාදයෙන් පොළොවට රිද්මයානුකූලව තට්ටු කිරීම හා නළාව වටේට කරකවමින් නාද කිරීම. නාගයා ප්‍රතිචාර දක්වන්නේ එම පොළොවේ කම්පනයට හා නළාවේ චලනයට පමණයි. එමෙන්ම සර්පයින් ට වර්ණ හඳුනා ගැනීමේ හැකියාවක් ද නැහැ. ඔවුන්ට පෙනෙන්නේ කළු හා සුදු පමණයි. 

උග්‍රවිෂ සහිත සර්පයින් නිසා මිනිස් මරණ වාර්තා වෙනවා. ඒ බොහොමයක් මරණ නොසැලකිල්ල නිසාත්, නිසි ප්‍රථමාධාර හා ප්‍රතිකාර නොලැබීම නිසාත් සිදුවෙනවා. බොහෝ සර්පයින් එකවිට පහර නොදෙන අතර තර්ජනයන් මඟහැර යාමට උත්සාහ කරනවා. විශේෂයෙන් පොළොවේ කම්පනයක් දැනුණු විට එම ස්ථාන මඟහැර යනවා. මෙවැනි ජීවි විශේෂ පිළිබඳ දැනුම හා අවබෝධය පුළුල් කරගැනීමෙන් එවැනි අනතුරු වලින් ආරක්ෂා වීමට මෙන්ම සොබාදහමේ පැවැත්ම රැක ගැනීමටත් අපට පුළුවන්. 


Wednesday, March 25, 2020

සමාජවාදය ??

ධර්මය වටහා ගත හැකි
සත්‍යය - සුන්දර බව දැක ගත හැකි
උත්තර සමාජයක් ගොඩනැගුමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන් පැළදුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය...
           ( ප්‍රබුද්ධ - මහගම සේකර )


            සමාජවාදය ගැන තියෙන දේශපාලනික, ආර්ථික විද්‍යාත්මක, දාර්ශනික නිර්වචන ඔක්කොම පැත්තකට දාලා අපි අපේ භාෂාවෙන් කතා කරොත්, අපි ප්‍රාර්ථනා කරන ලස්සන ලෝකෙට තමයි සමාජවාදය කියලා කියන්නෙ. අපි බලාපොරොත්තු වෙනවනම් වෙනසක්, මීට වඩා හොඳ ලෝකයක්, මනුස්සකම පිරුණු තැනක්, ඒක තමයි සමාජවාදය. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයා සහ මම හීනෙන් දකින අර ලස්සන ලෝකෙ, ඒකම තමයි සමාජවාදය.

අපි ජීවත්වෙන්නෙ ධනවාදී සමාජයක. ඒ කියන්නෙ මුදල් මත පදනම් වුණු සමාජයක. හැමදේම මිල කරන සමාජයක. ඕනම වස්තුවකට, ප්‍රපංචයකට වෙළෙඳ වටිනාකමක් තියෙන සමාජයක. අපි හිතුවොත් ඒ පදනම වෙනස් කරලා ගුණධර්ම, මනුස්සකම, ආදරය මත ගොඩනැගෙන ලෝකයක් ඕන කියලා, එහෙනම් අපි සමාජවාදය ගැන කතා කරමු. හැබැයි මීයගෙ ගෙදර ඉඳන් පූසගෙ හොඳ කියනකොට වැටෙන අමාරුවෙ අපි වැටෙනවා. මොකද අපි හුස්ම ගන්නෙ, ජීවත් වෙන්නෙ, කාලා ඇඳලා ඉන්නෙ මේ ධනවාදී ක්‍රමය ඇතුලෙ නිසා.

කිසිම කෙනෙක් තමන්ගෙ හතුරගෙ හොඳ නොකියන නිසා මේ system එකේ ජනමාධ්‍ය වලින් අපිට සමාජවාදය ගැන හොයාගන්න බෑ. මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ උගන්නන්නෙ නෑ. පොඩි කාලෙ බත් කවන්න ඕනකමට 'යක්කු' කියලා ජාතියක් ඉන්නවා කියලා පටන්ගත්ත brainwash එක අපේ ඔළුවලට දාලා තියෙන්නෙ සමාජවාදය ගැනත් කළු චිත්‍රයක් විතරයි. සමාජවාදය කියන්නෙ fail වුණු, යල් පැනගිය ක්‍රමයක් කියලා කියනකොට මට ඇහෙන්නෙ 'කිරිහොඳි ගෙදර ගියේය' වගේ කිසි තේරුමක් නැති වාක්‍යයක්. මොකද සමාජවාදය කියන්නෙම හෙට ගොඩනැගිය යුතු අළුත් සමාජයට. ධනේශ්වර ක්‍රමය රටින් රටට වෙනස් කියලා දන්න අය, සමාජවාදය කියන්නෙ රුසියාවෙ තිබුණු එක, ඒක අපේ රටට හරියන්නෙ නෑ කියලා කියනකොට ඒ brainwash එකේ තරම පේනවා. 

ඒ මොනවා වුණත් සමාජවාදය කියන්නෙත් සුරංගනා ලෝකයක් නොවන බව මම පිළිගන්නවා. ඒක මීට වඩා හොඳ සමාජයක් විතරයි. හොඳ හොයාගෙන යන පරිවර්තීය කාල සීමාවක් විතරයි. පුරුදු ගොහොරුවෙ ඉන්නවට වඩා පියවරක් ඉස්සරහට තියන්න බය නැති විප්ලවීය හිත් සමාජවාදය හොයාගෙන යන්න ඕන කාලයක් මේක. ධනේශ්වර මාධ්‍යය වලින්, අධ්‍යාපනයෙන් අපිට නොකියන කියුබාවේ උදාහරණ වලින් එහෙම හිත්වලට එළියක් හොයාගන්න පුළුවන් කියලා විශ්වාසයි. 

ලෝක සිතියමේ ඇමරිකාවට ආසන්නම තැනක කියුබාව පිහිටලා තියෙනවා. විශාලත්වය වර්ග කිලෝමීටර් 109884ක් වෙන ජනගහනය මිලියන 11ක් පමණ සිටින, ඇමරිකාවෙ ප්‍රධානම ප්‍රතිවාදියා විදියට සලකන රට කියුබාව. දැනට ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාව පවතිනවා කියලා සැලකෙන්නෙ කියුබාවෙ. සෑම නිවාස 200කටම එක් රෝහලක් බැගින් පිහිටා තිබෙන, රෝහලට පැමිණීමට නොහැකි අය පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන් හෙදියන් නිවෙස්වලට යන, ඖෂධ නිශ්පාදනය අතින්ද ඉහළින් සිටින රට කියුබාව. ඕනෑම ව්‍යසනයකදි වෙනත් රටවලට ඖෂධ හා වෛද්‍ය සේවා නොමිලේ සපයන්න කියුබාව පසුබට වෙන්නෙ නෑ. පසුගිය 21 වෙනිදා කියුබානු වෛද්‍යවරුන් හා හෙදියන් 65ක් ඉතාලියෙ මිලානෝ නුවරට ගියේ ඒ නිසයි.

"අපේ රට වෙනත් ජනතාවට බෝම්බ හෙලන්නේ නැත. නගරවලට බෝම්බ හෙලීමට ගුවන් යානා යවන්නේ නැත. න්‍යෂ්ටික, ජෛව හෝ රසායනික අවිවලින් පහර දෙන්නේ නැත. අපේ රටේ වැදගත් වන්නේ ජීවිත බේරා ගැනීම සඳහා අධ්‍යාපනය ලබා ඇති වෛද්‍යවරුන් ය. මනුෂ්‍යත්වය දිනේවා!."
                                      (ෆිදෙල් කස්ත්‍රෝ)

නමුත් මේ කිසිම දෙයක් ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ අපිට දැකගන්න වෙන්නෙ නෑ. කියුබාව විසින් නිශ්පාදනය කළ බෙහෙතක් CoVid-19 රෝගය යටපත් කිරීමට භාවිතා කළ හැකිබව අපි ඇහුවෙත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විතරයි. 

අනෙක් අතට සමාජවාදය කියන්නෙ කොච්චර වටිනාකමක් සහිත දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඉතිහාසයක් අපිටත් තියනවා. ලංකාව වගේම බොහෝ රටවල මිනිස්සු දසදහස් ගණනක් සමාජවාදය වෙනුවෙන් තමන්ගෙ ජීවිත කැප කරා. පෞද්ගලිකත්වය ඉක්මවලා තවමත් නොඉපදුණු පරපුරක් වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය පූජා කළා. 

පුත!
හෙට ඔබ පිබිදෙන විට
පෙරගිරගින්
ලා රත් පැහැ අරුණළු
අලුත් ඉරක් පායනු ඇත.
ඒ ඉර රත් පැහැ වූයේ
ඔබ වෙනුවෙන්
මේ පරපුර
අප
වැගිරූ ලේ වලිනුයි.
                ( මක්නිසාද යත් - මහගම සේකර )

ලෝකය තේරුම් ගන්න, දැනුම ගවේෂණය කරන්න අවස්තාව පුළුල් කරන්න කියලා ඉල්ලන්නෙ සමාජවාදය. ලෙඩරෝග වලට බෙහෙත් දෙන්න, ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න කියලා ඉල්ලන්නෙ සමාජවාදය. පරිසරය විනාශ කරන්න එපා, සොබාදහම රැකගන්න කියලා ඉල්ලන්නෙ සමාජවාදය. මේ නරුම සමාජය එපා, අලුත් නැවුම් සමාජයක් ඕන කියලා ඉල්ලන්නෙ සමාජවාදය. 

සමාජවාදය බිහිවෙන්නෙ එය විශ්වාස කරන, එය පිළිගන්න මිනිසුන්ගෙන්. ඓතිහාසිකව, දාර්ශනිකව, ආර්ථික විද්‍යාත්මකව හා දේශපාලනිකව සමාජවාදය හදාරන්න ඕන ඒ නිසා. කියුබාවෙ කොහොමද, රුසියාවෙ මොකද වුණේ, චීනය මොකද කරන්නෙ කියලා හරියටම කියවගන්න ඕන ඒ නිසා. පවතින ක්‍රමයෙ වහලෙක් නොවී අලුත් ගමනක් යන්න ඕනනම් ඒ හැදෑරීම අවශ්‍යම වේවි. 

මකා දමා අර අහස් තලය දුර
මකා දමා ඉර හඳ තරු
නැවතත් අපි පසක් කරමු
මේ ලෝකය
මීට වඩා සැපවත් කොට
          (මක්නිසාද යත් - මහගම සේකර)

Monday, February 10, 2020

Joker

"මම මගේ මුළු ජීවිත කාලෙ පුරාම නරුමයෙක් විදියට ඉඳලා තියනවා. මම ආත්මාර්ථකාමියි. මම නපුරු වෙලා තියනවා. මිනිස්සුන්ට මාත් එක්ක වැඩ කරන්න බැරි තරම් මාව එපා වෙලා තියනවා. නමුත් ඔබට මගේ ස්තුතිය ලැබිය යුතුයි. ඔබ මට දෙවන අවස්ථාවක් ලබා දුන්නා. අතීත වැරදි හින්දා ප්‍රතික්ෂේප නොකර සහයෝගය දුන්නා. ඉදිරියට යන්න උදව් කරා. ඒ මගින් තමයි අපිට අපේ මාර්ගය හොයාගන්න පුළුවන් වෙන්නෙ."

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ලොව හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් Joaquin Phoenix මේ කතාව කිව්වෙ සම්මාන රාත්‍රිය අමතමින්. දුෂ්ටයෙක්, නරුමයෙක් ගැන වෙනත් මානයකින් දකින්න ඉඩ හදපු joker චිත්‍රපටය ගැන නැවතත් කතාබහක් ඇතිවුණා. 

Batman තමයි වීරයා. අයුක්තියට අසාධාරණයට එරෙහි පෞරුෂය. කඩවසම් ආකර්ෂණීය චරිතය. ධනවත් සැපපහසු ජීවිතය. හොඳ ගතිගුණ තියන සුදු චරිතය. Joker ඒ කතාවෙ දුෂ්ටයා. සම්පූර්ණයෙන් අනෙක් පැත්ත. කැහැටු, දුෂ්ට, පිළිකුල් කළු චරිතය. හැබැයි මේක ඒ දුෂ්ටයා ගැන කතාවක් මිසක් වීරයගෙ කතාවක් නෙමෙයි.

දුප්පත්කමත් එක්ක ගැට ගැහුණු ජීවිතයක්. විකට රංගන ශිල්පියෙක් වෙන්න හීනයක්. පාලනය කරගන්න බැරි රෝගයක්. පණ වගේ ආදරය කරන අම්මා කෙනෙක්. දරාගන්න  උරුම හැමදේම දරාගෙන දෛනික ජීවිතේ ගෙවාගන්න හදන පහළ පංතියෙ මිනිසෙක්. ඒ තමයි joker. අනිත් පැත්තෙන් සමාජ system එක පවත්වාගෙන යන එහි බලය හිමි Wayne. ඒ system එක ඇතුලෙ තමයි දුප්පතුන්, හොරුන්, ස්ත්‍රී දූෂකයින්, අපරාධකරුවන් බිහිවෙන්නෙ. වංචාව, අයුක්තිය ආරක්ෂා වෙන්නෙ. Batman අවශ්‍ය ඒ සමාජ ක්‍රමය රකින්න. ඔවුන්ට බලය හිමි ඒ සමාජය පවත්වාගෙන යන්න. Joker කියන්නෙ ඔවුන්ගෙ බල සූදුව නිසා සියල්ලම අහිමි වෙන වින්දිතයෙක්. තව දුරටත් තැලෙන එක ප්‍රතික්ෂේප කරපු ඔහු ඊට එරෙහිව හිනාවුණු එක්තරා අරගලකරුවෙක්. ඔව්, හිනාව කියන්නෙත් එක වෙලාවක අවියක්. 

මිනිස් හිත ඇතුලෙ කොයිතරම් නම් හැඟීම්, හීන තියනවද? සමහර ඒවා ගොඩක් සංකීර්ණ යි. සමහර බලාපොරොත්තු දරාගන්න බැරිතරම් වියවුල්. උමතූන් බිහිවෙන්නෙ එහෙමයි. හොඳම සිතුවිලි ඇත්තෙ මානසික රෝගීන් ගාව වෙන්න පුළුවන්. උමතුව කියන්නෙ එක්තරා විදියක පරිපූර්ණ අවස්ථාවක්. ඒ අසමමිතික කතාව තමයි ලෝකයම චිත්‍රපටයක් විදියට වැළඳගත්තෙ. Joaquin Phoenixගෙ දැවැන්ත රංගනය වගේම, ඒ අපූරු සමාජ කියවීමත් මෙහි සාර්ථකත්වයට තදින්ම බලපෑවා. 

නරුමයෙක්වද, නරුමයන් බිහිකරන සමාජයද එල්ලා මරා දැමිය යුතු කියලා ප්‍රශ්න කරන්න තරම් වියරුවක් දැනුනෙ නැත්තන්, මුන් ඔක්කොටම (අපටත් එක්කම) හිනාවෙන්න තරම් උමතුවක් දැනුනෙ නැත්තන් ආයෙත් බලමු. 


Saturday, February 8, 2020

පරිමාව හා ධාරිතාව



එකෝමත් එක කාලෙක දුර ඈත තිබුණු කැළෑවක කොබෙයි අම්මා කෙනෙකුයි එයාගෙ පැටව් ටිකයි ජීවත් වුණා. මෙයාලා හරිම සතුටින් හිටියෙ. ඒත් අවාසනාවකට මේ කැළේට මහා නියඟයක් ආවා. වැස්ස නැතිවෙලා ඇළ දොළ ගංඟා පොකුණු ඔක්කොම හිඳිලා ගියා. ගස් කොළන් වේලිලා ගියා. පැටවුන්ට කන්න දෙයක් හොයාගන්න කොබෙයි අම්මට බැරිවුණා. කොබෙයි අම්මා කෑම හොයාගෙන ඈතින් ඈතට පියාඹලා යනකොට දැක්කා මල් පිපිලා තිබුණු මී ගහක්. ඉතින් මේ මී මල් කඩාගෙන ඇවිත් පැටවුන්ට කන්න දුන්නා. වැඩිපුරත් එක්ක කඩන් ඇවිත් පස්සෙ කෑමට ගන්න ලඟ තිබුණු ගල් තලාවට දැම්මා. 

ඉර අව්වට අර මී මල් වේලිලා පුංචි වුණා. කොබෙයි අම්මා කෑම හොයන්න ගිහින් හවසට ආවම දැක්කෙ මී මල් අඩුවෙලා වගේ. අම්මා හිතුවෙ පැටව් ටික පස්සෙ කන්න ඉතුරු කරපු මී මල් ටිකත් කාලා කියලා. හොදටම තරහා ගිහිපු කොබෙයි අම්මා පැටවුන්ව කොටලා මරලා දැම්මා. 

මේක බලන් හිටපු සක්‍ර දෙවියො එකපාරටම වැස්සක් වැස්සුවා. වැහිවතුර වැටිලා මැලවිලා තිබුණු මී මල් ආයෙත් ලොකු වුණා. එතකොටයි කොබෙයි අම්මට තේරුණේ තමන් කරගත්තෙ ලොකු වැරැද්දක් කියලා. ඒ දුකට විලාප දීගෙන
'මී පුප් ලදිමි. දරු නොලදමි. රන් කැටි පුතා කෝ කෝ' කියමින් කොබෙයි අම්මා අදටත් කැලේ පුරාම තමන්ගෙ පැටවු හොයනවලු.

ජාත්‍යන්තර සම්මාන රාශියක් ගත්තු 'විෂම භාග' චිත්‍රපටයෙ අවසානයට ළමයෙක් මේ සිදුවීම කියැවෙන කවියක් කියනවා.

ගලේ වැනුව මල් කාලා නොවේ
කුරුලු පැටියා මළේ
පමාවෙලා වැටුන වැස්සේ
මල් පිපුනා ගලේ
නුඹේ අතේ වරද නැතේ
කොබෙයි ලියේ
නාඬා හිඳින් දුක් බෝමයි
සංසාරේ

පුබ්බුරු පුතේ පුබ්බූරුයි හඬනකොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
උඹත් හඬනවා පැටියා මළ දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්නද

ඒ කවිය අහලා ඇස් වල කඳුළු පුරවගත්ත සර් කළු ලෑල්ලෙ අළුත් මාතෘකාවක් ලියනවා. 'පරිමාව හා ධාරිතාව'

සමහර දේවල් ගොඩක් පුංචියි. සමහරක් විශාලයි. ඒක හරියටම තීරණය වෙන්නෙ ඇත්තටම පුංචිද ලොකුද කියන එක මත නෙමෙයි. අපි ඒක දිහා බලන විදිය අනුව. සමහර පුංචි දේවල් තියනවා ඇත්තටම අනන්තයටත් වඩා විශාලයි. 'The fault in our stars' චිත්‍රපටයෙ එක තැනක කියනවා 0ත් 1ත් අතර සංඛ්‍යා අනන්ත ප්‍රමාණයක් තියනවා කියලා. ආලෝක වර්ෂ ගාණක විෂ්කම්භයක් තියන තරුවක් වුණත් ‍රෑට අපිට පේන්නෙ පුංචි තිතක් විදියට. ඒ කියන්නෙ පරිමාව තීරණය වෙන්නෙ ඇත්තටම ධාරිතාව අනුව නෙමෙයි.

මේක මහා විශාල ලෝකයක්. අපි ඉන්නෙ පුංචි තැනක. පුංචි මිනිස්සු ප්‍රමාණයක් ඇසුරු කරන්නෙ. පුංචි වචන ප්‍රමාණයක් කතා කරන්නෙ. පුංචියට හිතන්නෙ. ඒත් අපිට දැනෙන දුක හරි සතුට හරි පුංචියි කියලා කවදාවත් හිතුනද. නෑ ඒක මහ විශාලයි. උපරිම දුක් වෙන්නවත්, සතුටුවෙන්නවත් මේ පුංචිකම බාධාවක් නෙමෙයි. 

කොටු රූල් උඩ සාධනය කරන ඒවා කොහොම වෙතත් බිංදුවයි අනන්තයයි කියන්නෙ ලඟම ඉලක්කම් දෙකක්. ජීවිතේදි එහෙමයි. ප්‍රශ්නෙ වෙන්නෙ අපේ ධාරිතාව කොහොමද ලෝක පරිමාවට ගලපන්නෙ කියන එක. එහෙම බැරුව අසරණ වෙන දහස් ගාණක් මේ රටේ ඉන්නවා. වඩා හොඳ හීන දකින්න තියන අවස්තාව නැතිවෙලා යන දහස් ගාණක් ඉන්නවා. 

හැබැයි හැමදාම කතාකරේ තරඟෙ දිනපු අය ගැන විතරයි. හැලුණු, පැරදුණු, අත ඇරපු අය ගැන කතා කරේ නෑ. උත්තර නැති ප්‍රශ්න ගොන්න අතරෙ 'පරිමාව හා ධාරිතාව' කියන්නෙත් මාතෘකාවක් නෙමෙයි. ප්‍රශ්නාර්ථයක්. 

පුබ්බුරු පුතේ පුබ්බූරුයි හඬනකොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
උඹත් හඬනවා පැටියා මළ දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්නද.....

Wednesday, January 15, 2020

(ජනවාරි 14 මහගම සේකරයන්ගේ 44වන ගුණසමරුව යෙදී ඇත. ප්‍රබුද්ධ, නොමියෙමි, සක්වාලිහිණි ඔහුගේ ප්‍රසිද්ධ කාව්‍ය ග්‍රන්ථ වේ. )







සේකරට,

නොමියෙමි
දැනෙන තරමට පිච්චෙමි
හොඳටෝම උණුසුම විඳිමි
දරාගත නොහැකි කල
නොමියෙමි තව තව දැවෙමි
විඳවමි විඳීම නොවිඳමි
රිදෙන හැම දිනකම
පෙරඹර දිහා බලබල
නොනැගෙන හිරුට දින ගනිමි
නැවත නැවතත් දැවෙමි
නමුදු නොමියෙමි

ප්‍රබුද්ධ 
කියවා විසිකර දමමි
අවලංගු සල්පිලක
පොත්ගුලක සිරකරමි
මේ අමුතු සමාජෙට
තව හැමිණෙන්නට කියමි
උන්ගේ ශුද්ධ පාපෙට
පැන් කළ දොව දොවා දෙමි
නුඹ වුවත් සිහිකර 
අමතක කරමි

නියත විවරණ ලබමි
කවි පොතක් තරමට නොවටිනා
ජීවිතයක් නැවතත් ලබමි
නැවත නැවතත් විඳවමි
නුඹේ කවි වාගෙම
කාණුවට විසිවෙන කවි ලියමි
ඉඳහිට අහම්බෙන් 
පෙරඹර දිහා බලමි
නොනැගෙන නුඹේ හිරු
පායා නැතැයි සැනසෙමි
සක්වාලිහිණියක් වාගේ හිනැහෙමි
නොමියෙමි මැරි මැරි හිඳිමි....

Sunday, January 5, 2020

විෂම භාග සුළු කිරීම

චිත්‍රපටියක් බලනවා කියන්නෙ හදවතට වඩාත්ම දැනෙන විදියට කලාව විඳින්න පුළුවන් ක්‍රමයක්. වාසනාවකට වගේ ලංකාවෙනම් දැනෙන, හැඟෙන චිත්‍රපටියක් බිහිවෙන්නෙ කලාතුරකින්. Filmhall එකට ගිහින් අනිත් හැමදේම අමතක කරලා පැය 2කට කතාවකට ඒකාත්මික වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ කලාතුරකින්. එතනදි මට දැනුණු දේ කියන්න තරම් වටින නිසයි විෂම භාග ගැන සටහනක් තියන්න හිතුවෙ. 

Film එක market කරපු අය අපිට කතා 2ක් කිව්වා. ජාත්‍යන්තර සම්මාන ගොඩක් අරන් තියෙන නිසා මේක බලපන්. වකුගඩු රෝගය තුරන් කරන්න පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියකට මේකෙ ලාභය යොදවන නිසා මේක බලපන්. එහෙම කියලත් හිස් පුටු ගොඩක් මැද්දෙ ඉඳගෙන film එක බලපු මට කියන්න තියෙන්නෙ ඔය මොකවත් නිසා නෙමෙයි, මේක බලපන්. මේ film එක බලපන්. 


විෂම සමාජයක් ගැන, විෂම ලෝකයක් ගැන ලොකු ලොකු කතා අහපු අපිට විෂම භාග මහලොකු වචනයක් නෙමෙයි. විෂම ජීවිත වගේම විෂම භාග ජීවිතත් මේ ලෝකෙ අපිට අනන්තවත් හමු වෙනවා. අපේ ජීවිතත් එහෙමයි. විෂම කියන වචනෙ තියන නපුරු ගතියට, අසාධාරණ ගතියට අපි කැමති නෑ. ඒත් එදායින් පස්සෙ මට හිතුණා විෂම කියන්නෙ කොච්චර ලස්සන දෙයක්ද කියලා. විෂම භාගත් ලස්සන වුණේ ඒකයි.

තාලෙට අත්පුඩියක් ගහන්න තියා සිංදුවක් තාලෙට හිතින් මුමුණන්නවත් මට බෑ. හැබැයි සිංදු අහන්න, රසවිඳින්න ඒක බාධාවක් නෙමෙයි. ගීතයක් කියන්නෙ තවත් එක මනුස්සයෙක්ගෙ හෝ කිහිපදෙනෙකුගේ show එකක් විතරක්ද කියලා හිතාගන්න බැරි තරමට දේවත්වයට සමීප ගතියක් සංගීතයෙ තියනවා. ඉතිං සිංදු කියන්න පුළුවන් අයට හිතින් ඊර්ෂ්‍යා කරන එකයි, මට බැරි එකට දුක් වෙන එකයි තමයි ඉතුරු වෙලා තිබුණෙ. හැබැයි මට ගණිතයටනම් වැඩිපුර ලකුණු ටිකක් ගන්න පුළුවන්කම තිබුණා. ඒ විෂම බව අපි පිළිගත්තත් සමාජය ඉල්ලුවෙම calculators මිසක් ගී කියන කුරුල්ලො නෙමෙයි. ඒ ඛේදවාචකය බලන්නනම් විෂම භාග බලන්න.

මැරෙනවා කියන එක අපේ හිතෙන් ගොඩක් දුර තැනක තියලා අපි ජීවත් වෙනවා. ආගම අදහන වෙලාවට විතරක් මැරෙනවා කියලා මතක් කරන අපි, අනිත් හැමවෙලේම අමරණීයයි කියලා හිතාගෙන ඉන්නවා. මරණය අපිට දුර වුණාට මරණයත් එක්කම ජීවත් වෙන මිනිස්සු ඕනතරම් ලංකාවෙ ඉන්නවා. ජීවත් වෙනවද මැරෙනවද කියන එක ඇතුලෙ තෝරාගැනීමක් කරන්න ඔවුන්ට අවස්තාව නෑ. කරන්න පුළුවන් එකම දේ මැරෙන විදිය ගැන හිතන එක විතරයි. අලි ගහලා මැරෙන එකද, වකුගඩු රෝගය හැදිලා මැරෙන එකද වඩා හොඳ? උත්තරය film එකේ තියනවා. 

නැවුම් ලා දළු පිපෙන්න අළුත් වැස්සක් වහින්න. දිය කඩිත්තට තිත්තයින්ට එන්න අළුත් වතුරක් ගලන්න. මියයන්න හදන අතු ඉපුල් දළුලන්න, නැවුම් සුවඳ සුළඟක් හමන්න. බිඟුන් නැවත ගී ගයන්න. ජීවිත වලින් කරන මේ ආරාධනාව ස්වරත් එක්ක අහන්න මේ film එක බලන්න. 

ජීවිතේ හරියට කවියක් වගේ කියලා කවිවලම තියනවා. කවි කියවලා ජීවත් වෙනවා වගේම ජීවිතය කියවන කවිත් තියනවා කියලා දැනගත්තා. කලින් කියපු දාර්ශනික talk ඔක්කොම පැත්තකට දැම්මත් කවියක් අහලා හදවතින් අඬන්න අවස්ථාවක් ඕනනම් ඒක මඟහරින්න එපා. පුරුද්දට වගේ හැමදාම හිනාවෙන, ප්‍රශ්න හංඟගෙන හිනාවෙන, අඬන විදියත් අමතක කරපු මේ ජීවිත වලට කෙලවෙන්න කියලා ගිහින් අඬලා එන්න. අඬන්න දන්න මිනිස්සු ටිකක් ඕන කාලයක් මේක. 

විෂම භාග බලලා ජීවිතේට මොකුත් ලැබුණෙ නැතත් කවියක් එක්ක සංවේදී වෙන්න ලැබෙන අවස්ථාවට පයින් ගහන්න එපා. කවදහරි මැරෙනවනම් මැරෙන්න කලින් මොනවද කරේ කියලා දවසක ප්‍රශ්නයක් ආවොත් system එකේ විදියට ජීවත් වුණු කතාව ස්වභාවධර්මය අහන්න කැමති වෙනේකක් නෑ. ජීවිතේ පැය දෙකක් විඳලා ආවා කියන්නවත් තෘප්තියක් ඉතුරු කරගන්න මේක බලමු.

ඔය මොකුත් නැතත් දවස ගානෙ මැරි මැරි ජීවත් වෙන, මරණය අතේ තියාගෙන ඉපදෙන දහස් ගාණක් වෙනුවෙන් පිරිසිදු වතුර ටිකක් දෙන්න අතදෙන්න හරි මේක බලන්න. මේක බලන්නම ඕන එකක්. දැනුණත් නැතත්, තේරුණත් නැතත්. බැලුවට පස්සෙ අපි පරිමාව හා ධාරිතාව ගැන කතාකරමු.