Sunday, September 29, 2019

අම්මෙක්ට

විසල් පපුවෙන් නැගුණු සුසුමක් මහා සුළඟට මුහුවෙලා
ගිහින් අහසට වළාකුළකට නපුර රහසින් මුමුණලා
වෙලා කම්පා ගිගුම් දීලා කඳුළු දුන්නා වැහිවලා
ඇතිනි මව් නුඹෙ නික්ම යාමට අන්න අහසත් පේවිලා

ඉස්සරත් පව් කරපු උන් ඇත මහපොළොව කම්පා වෙනා
නැගුණු පන්සල් බෝධි දාගැබ් උන් සැවොම සිල්වත් කලා
මහා පපුවක් නුඹට මොකටද ආදරේ නොහඳුන දනා
හිතන්නට ඇති මරන්නට පෙර උන්ගෙ හදවත් හකුලවා

බිඳෙන් බිඳ එක්වෙලා වැහි බිඳු සියලු ගංඟා උතුරලා
නුඹේ ඇස් තෙත් කරපු කඳුලක් තැනින් තැන තැන්පත් කරා
නුඹේ ඇකයේ හිටපු දරුවට නුසුදුසුයි ලොව පවසලා
රැගෙන ගියෙහිද මිනිස්ලොව හැර තව්තිසා දෙව්ලොව සොයා