Saturday, December 14, 2019

කවියෙකුගේ නික්මයාම








වැඩියෙන්ම රිදෙන්නේ කවියන්ට බව
නුඹ ලියා තැබුවා මතකය
සේලයින් බට සුදු පාට පෙති මත
කවි කොහොම බිහිවුණා දැයි සිතිය හැක
පපු කුහරෙටත් වඩා ලොකු හීන වලට
ඉඩදෙන්න කොහොම හැකිවෙන්නැතිද
විරාමෙට පසුව හමුවිය යුතු බව
ඒ පොතේ තිබුණා ට අමතක වුණිද

""සිය ගණන් සමනල්ලු එන්න ඇති
   තව හාදු මිටි ගණන් අරන් යන්නැති
   කළු ගලත් උන්ට ඇත්තටම ආදරේ යැයි
   උන් හිතාගෙන ඉන්නවා ඇති

   කඳු ගැන මොනවත්ම දන්නෙ නැති
   දළඹුවොත් ඒ ගැන හීන මවන්නැති
   කාටවත් දුන්නෙ නැති එකම එක හාදුවක්
   ඒ කඳු මුදුනෙ කොහේ හරි ඇති""
        (විරාමයකට පසුව හමුවෙමු, 30 පිටුව)

මඟ දිගට සමනල්ලු එක රෑනෙ පියඹද්දි
නුඹට එන්නට සවිය මදි වෙන්නැති
ආදරේ පිරුණු හදවතත් තියාගෙන
අර හාදුවට මඟ බලන් ඉන්නැති
කවියකින් කොහොම ජීවිතේ ජයගන්නෙ
නුඹේම කවියක හැංඟිලා තියෙන්නැති
කවියෙකුට පුළුවන් ය ඇසක් තෙත් කරලන්න
තම කඳුළු පිසලන්න ඒ වුණත් බැරුව ඇති

ඒ නිසා නුඹ යන්නැති.....

සුබ ගමන් සොයුර...