Monday, February 10, 2020

Joker

"මම මගේ මුළු ජීවිත කාලෙ පුරාම නරුමයෙක් විදියට ඉඳලා තියනවා. මම ආත්මාර්ථකාමියි. මම නපුරු වෙලා තියනවා. මිනිස්සුන්ට මාත් එක්ක වැඩ කරන්න බැරි තරම් මාව එපා වෙලා තියනවා. නමුත් ඔබට මගේ ස්තුතිය ලැබිය යුතුයි. ඔබ මට දෙවන අවස්ථාවක් ලබා දුන්නා. අතීත වැරදි හින්දා ප්‍රතික්ෂේප නොකර සහයෝගය දුන්නා. ඉදිරියට යන්න උදව් කරා. ඒ මගින් තමයි අපිට අපේ මාර්ගය හොයාගන්න පුළුවන් වෙන්නෙ."

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ලොව හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් Joaquin Phoenix මේ කතාව කිව්වෙ සම්මාන රාත්‍රිය අමතමින්. දුෂ්ටයෙක්, නරුමයෙක් ගැන වෙනත් මානයකින් දකින්න ඉඩ හදපු joker චිත්‍රපටය ගැන නැවතත් කතාබහක් ඇතිවුණා. 

Batman තමයි වීරයා. අයුක්තියට අසාධාරණයට එරෙහි පෞරුෂය. කඩවසම් ආකර්ෂණීය චරිතය. ධනවත් සැපපහසු ජීවිතය. හොඳ ගතිගුණ තියන සුදු චරිතය. Joker ඒ කතාවෙ දුෂ්ටයා. සම්පූර්ණයෙන් අනෙක් පැත්ත. කැහැටු, දුෂ්ට, පිළිකුල් කළු චරිතය. හැබැයි මේක ඒ දුෂ්ටයා ගැන කතාවක් මිසක් වීරයගෙ කතාවක් නෙමෙයි.

දුප්පත්කමත් එක්ක ගැට ගැහුණු ජීවිතයක්. විකට රංගන ශිල්පියෙක් වෙන්න හීනයක්. පාලනය කරගන්න බැරි රෝගයක්. පණ වගේ ආදරය කරන අම්මා කෙනෙක්. දරාගන්න  උරුම හැමදේම දරාගෙන දෛනික ජීවිතේ ගෙවාගන්න හදන පහළ පංතියෙ මිනිසෙක්. ඒ තමයි joker. අනිත් පැත්තෙන් සමාජ system එක පවත්වාගෙන යන එහි බලය හිමි Wayne. ඒ system එක ඇතුලෙ තමයි දුප්පතුන්, හොරුන්, ස්ත්‍රී දූෂකයින්, අපරාධකරුවන් බිහිවෙන්නෙ. වංචාව, අයුක්තිය ආරක්ෂා වෙන්නෙ. Batman අවශ්‍ය ඒ සමාජ ක්‍රමය රකින්න. ඔවුන්ට බලය හිමි ඒ සමාජය පවත්වාගෙන යන්න. Joker කියන්නෙ ඔවුන්ගෙ බල සූදුව නිසා සියල්ලම අහිමි වෙන වින්දිතයෙක්. තව දුරටත් තැලෙන එක ප්‍රතික්ෂේප කරපු ඔහු ඊට එරෙහිව හිනාවුණු එක්තරා අරගලකරුවෙක්. ඔව්, හිනාව කියන්නෙත් එක වෙලාවක අවියක්. 

මිනිස් හිත ඇතුලෙ කොයිතරම් නම් හැඟීම්, හීන තියනවද? සමහර ඒවා ගොඩක් සංකීර්ණ යි. සමහර බලාපොරොත්තු දරාගන්න බැරිතරම් වියවුල්. උමතූන් බිහිවෙන්නෙ එහෙමයි. හොඳම සිතුවිලි ඇත්තෙ මානසික රෝගීන් ගාව වෙන්න පුළුවන්. උමතුව කියන්නෙ එක්තරා විදියක පරිපූර්ණ අවස්ථාවක්. ඒ අසමමිතික කතාව තමයි ලෝකයම චිත්‍රපටයක් විදියට වැළඳගත්තෙ. Joaquin Phoenixගෙ දැවැන්ත රංගනය වගේම, ඒ අපූරු සමාජ කියවීමත් මෙහි සාර්ථකත්වයට තදින්ම බලපෑවා. 

නරුමයෙක්වද, නරුමයන් බිහිකරන සමාජයද එල්ලා මරා දැමිය යුතු කියලා ප්‍රශ්න කරන්න තරම් වියරුවක් දැනුනෙ නැත්තන්, මුන් ඔක්කොටම (අපටත් එක්කම) හිනාවෙන්න තරම් උමතුවක් දැනුනෙ නැත්තන් ආයෙත් බලමු.