Saturday, February 8, 2020

පරිමාව හා ධාරිතාව



එකෝමත් එක කාලෙක දුර ඈත තිබුණු කැළෑවක කොබෙයි අම්මා කෙනෙකුයි එයාගෙ පැටව් ටිකයි ජීවත් වුණා. මෙයාලා හරිම සතුටින් හිටියෙ. ඒත් අවාසනාවකට මේ කැළේට මහා නියඟයක් ආවා. වැස්ස නැතිවෙලා ඇළ දොළ ගංඟා පොකුණු ඔක්කොම හිඳිලා ගියා. ගස් කොළන් වේලිලා ගියා. පැටවුන්ට කන්න දෙයක් හොයාගන්න කොබෙයි අම්මට බැරිවුණා. කොබෙයි අම්මා කෑම හොයාගෙන ඈතින් ඈතට පියාඹලා යනකොට දැක්කා මල් පිපිලා තිබුණු මී ගහක්. ඉතින් මේ මී මල් කඩාගෙන ඇවිත් පැටවුන්ට කන්න දුන්නා. වැඩිපුරත් එක්ක කඩන් ඇවිත් පස්සෙ කෑමට ගන්න ලඟ තිබුණු ගල් තලාවට දැම්මා. 

ඉර අව්වට අර මී මල් වේලිලා පුංචි වුණා. කොබෙයි අම්මා කෑම හොයන්න ගිහින් හවසට ආවම දැක්කෙ මී මල් අඩුවෙලා වගේ. අම්මා හිතුවෙ පැටව් ටික පස්සෙ කන්න ඉතුරු කරපු මී මල් ටිකත් කාලා කියලා. හොදටම තරහා ගිහිපු කොබෙයි අම්මා පැටවුන්ව කොටලා මරලා දැම්මා. 

මේක බලන් හිටපු සක්‍ර දෙවියො එකපාරටම වැස්සක් වැස්සුවා. වැහිවතුර වැටිලා මැලවිලා තිබුණු මී මල් ආයෙත් ලොකු වුණා. එතකොටයි කොබෙයි අම්මට තේරුණේ තමන් කරගත්තෙ ලොකු වැරැද්දක් කියලා. ඒ දුකට විලාප දීගෙන
'මී පුප් ලදිමි. දරු නොලදමි. රන් කැටි පුතා කෝ කෝ' කියමින් කොබෙයි අම්මා අදටත් කැලේ පුරාම තමන්ගෙ පැටවු හොයනවලු.

ජාත්‍යන්තර සම්මාන රාශියක් ගත්තු 'විෂම භාග' චිත්‍රපටයෙ අවසානයට ළමයෙක් මේ සිදුවීම කියැවෙන කවියක් කියනවා.

ගලේ වැනුව මල් කාලා නොවේ
කුරුලු පැටියා මළේ
පමාවෙලා වැටුන වැස්සේ
මල් පිපුනා ගලේ
නුඹේ අතේ වරද නැතේ
කොබෙයි ලියේ
නාඬා හිඳින් දුක් බෝමයි
සංසාරේ

පුබ්බුරු පුතේ පුබ්බූරුයි හඬනකොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
උඹත් හඬනවා පැටියා මළ දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්නද

ඒ කවිය අහලා ඇස් වල කඳුළු පුරවගත්ත සර් කළු ලෑල්ලෙ අළුත් මාතෘකාවක් ලියනවා. 'පරිමාව හා ධාරිතාව'

සමහර දේවල් ගොඩක් පුංචියි. සමහරක් විශාලයි. ඒක හරියටම තීරණය වෙන්නෙ ඇත්තටම පුංචිද ලොකුද කියන එක මත නෙමෙයි. අපි ඒක දිහා බලන විදිය අනුව. සමහර පුංචි දේවල් තියනවා ඇත්තටම අනන්තයටත් වඩා විශාලයි. 'The fault in our stars' චිත්‍රපටයෙ එක තැනක කියනවා 0ත් 1ත් අතර සංඛ්‍යා අනන්ත ප්‍රමාණයක් තියනවා කියලා. ආලෝක වර්ෂ ගාණක විෂ්කම්භයක් තියන තරුවක් වුණත් ‍රෑට අපිට පේන්නෙ පුංචි තිතක් විදියට. ඒ කියන්නෙ පරිමාව තීරණය වෙන්නෙ ඇත්තටම ධාරිතාව අනුව නෙමෙයි.

මේක මහා විශාල ලෝකයක්. අපි ඉන්නෙ පුංචි තැනක. පුංචි මිනිස්සු ප්‍රමාණයක් ඇසුරු කරන්නෙ. පුංචි වචන ප්‍රමාණයක් කතා කරන්නෙ. පුංචියට හිතන්නෙ. ඒත් අපිට දැනෙන දුක හරි සතුට හරි පුංචියි කියලා කවදාවත් හිතුනද. නෑ ඒක මහ විශාලයි. උපරිම දුක් වෙන්නවත්, සතුටුවෙන්නවත් මේ පුංචිකම බාධාවක් නෙමෙයි. 

කොටු රූල් උඩ සාධනය කරන ඒවා කොහොම වෙතත් බිංදුවයි අනන්තයයි කියන්නෙ ලඟම ඉලක්කම් දෙකක්. ජීවිතේදි එහෙමයි. ප්‍රශ්නෙ වෙන්නෙ අපේ ධාරිතාව කොහොමද ලෝක පරිමාවට ගලපන්නෙ කියන එක. එහෙම බැරුව අසරණ වෙන දහස් ගාණක් මේ රටේ ඉන්නවා. වඩා හොඳ හීන දකින්න තියන අවස්තාව නැතිවෙලා යන දහස් ගාණක් ඉන්නවා. 

හැබැයි හැමදාම කතාකරේ තරඟෙ දිනපු අය ගැන විතරයි. හැලුණු, පැරදුණු, අත ඇරපු අය ගැන කතා කරේ නෑ. උත්තර නැති ප්‍රශ්න ගොන්න අතරෙ 'පරිමාව හා ධාරිතාව' කියන්නෙත් මාතෘකාවක් නෙමෙයි. ප්‍රශ්නාර්ථයක්. 

පුබ්බුරු පුතේ පුබ්බූරුයි හඬනකොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
උඹත් හඬනවා පැටියා මළ දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්නද.....