Tuesday, April 14, 2020

සියවසක් පවත්නා දවස



එක අතකින් මේ දවස් හරිම අවිනිශ්චිතයි. බලාපොරොත්තු සහගත ව ජීවිතය ගැන හීන දකින්න සහ ඉතිහාසයට යට කරපු වැරදුණු, රිදුණු, දැනුණු හැමතැනක් ම ආයෙත් අවුස්සලා කියවලා බලන්න අවස්ථාවක් උදාවෙලා තියනවා. ඒත් මේ දවස් හරිම අවිනිශ්චිත යි.

නොපෙනෙන බලවේගයක් වගේ ඇවිත් කොයි මොහොතේ අනාගතය හකුලවා ගනීද? ඒ අසුභවාදී සිතුවිල්ල පැත්තක තියලා කතා කරමු. කෙළවරක් නැතුව ගලන මහවැලිය වගේ ජීවිතේ ගෙවුණු රටාව එකපාරටම නැවතිලා. රස විඳින්න, කියවන්න වගේම හිතන්නත් අවස්ථාවක් ලැබිලා. ඇත්තටම අපි කාලයක් තිස්සෙ හිතන එක නවත්තලා තිබුණෙ.

අවුරුදු ගාණක් පුරාම සුවනොවූ තුවාල ආයෙත් රිද්දලා බලන්න. හිත හදාගත්තා නෙමෙයි, වේදනාවට හුරු වුණා කියලා කියන අඳුරු මතක ආයෙත් අවුස්සන්න. ඔව් මට අවාසනාවන්ත විදියට වැරදුණා කියලා හිතෙන අතීතය ආයෙත් එළියට අරන් කියවන්න. මේක හිතන්න ලැබුණු පුදුමාකාර අවස්ථාවක්.

මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තණභූමි හරහා මළ සිරුරක් සමඟ මිනිසුන් කිහිප දෙනෙක් ගමනක් යනවා. මේ ස්ටෙප්ස් භූමිය පුරාම පුරාවෘත හා කතන්දර බොහොමයක් පැතිරිලා තියනවා.  මුතුන් මිත්තන්ගෙ ජීවිත වලින්, ඔවුන්ගෙ වික්‍රමයන්ගෙන්, ඒ වගේම කඳුළින් මේ භූමිය සාරවත් වෙලා. මහලු 'යෙදිගෙයි' ට මේ දීර්ඝ ගමන හිතන්න ලැබුණු හොඳ අවස්ථාවක්. අතීතය දිගහරින්න ලැබුණු හොඳ මොහොතක්. 

'සියවසක් පවත්නා දවස' නවකතාවක්. ගුරුගීතය, සමුගනිමි ගුල්සාරි, වේලාසන කොක්කු ඇවිත් කතුවරයා වන චින්ගීස් අයිත්මාතව්ගෙ තවත් එක් කතාවක්. එහි උණුහුම විඳින්න අයිතිය තියෙන්නෙ පිටු 495ක් කියවන්න හයිය තියන පොත්ගුල්ලන්ට විතරයි. මිනිස් ජීවිත වල සුවඳ පිටු පුරා හමන මේ කතාව අපිට මතක් කරනවා හිතන්න. අපේම කතාව ආයෙත් කියවන්න. 

අපිට පුළුවන් 'අබුතාලිප්' වගේ වෙන්නත්. ඒ දේවල් ලියන්න. වැරදුණු තැන් ගැන, මූසල හෝරාවන් ගැන, නපුරු අත්දැකීම් ගැන පොතක කුරුටු ගාලා තියන්න. ජාතික ආරක්ෂාව, නීතිය නාමයෙන් ඒවා අසම්මත නැත්නම් තව කෙනෙකුට කියවන්න ඒවා ඉතිරි වෙලා තියේවි. නැත්නම් අබුතාලිප් වගේ මැරිලා යාවි. 

කොහොම වුණත් ආයෙත් අපිට හිතන්න මොහොතක් ලැබෙන එකක් නෑ. මානව ශිෂ්ටාචාරය වෙනුවෙන් දවසින් දවස නොහිතාම ගත කරන්න අපිට වේවි. කාලය, කොරෝනා ව්‍යාප්තිය වගේ ඉක්මනට ගෙවිලා යාවි. ටෙලියක, චිත්‍රපටයක සංවේදී දර්ශනයකදි ඇරෙන්න අපේ කතාවට අඬන්න අපිට මඟ හැරේවි. 

ඉතිං, අද දවස සුවිශේෂි යි. අන් කවරදාටවත් වඩා අද දවස වැදගත්. මොකද අද තමයි 'සියවසක් පවත්නා දවස'.

නොනිමි කවිය සේකර

 කවියෙකු, ගීත රචකයෙකු, නවකතා කරුවෙකු, කෙටිකතා කරුවෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නාට්‍ය රචකයෙකු ලෙස ලාංකේය කලා කෙතෙහි ඔහු තබා ඇති සලකුණ අමරණීය ය. ඒ නොමියෙන මිනිසා ගැන හා ඔහුගේ කවිය ගැන කෙටි විග්‍රහයක් මෙලෙස සටහන් කරමි.

ඒ 1929 වර්ෂය යි. ගම්පහ රඳවාන ප්‍රදේශයේ පදිංචි මහගමගේ ජෝන් අප්පුහාමි හා රණවක ආරච්චිගේ රොසලින් දෙපළට දාව අප්‍රේල් 07 වන දින සේකර උපත ලැබී ය. ඔහු පවුලේ එකම දරුවා යි. කුඩාකල සිටම ගැමි පරිසරය සමඟ බැඳුණු ඔහු රඳවාන පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කිරිඳිවැල පාසලට ඇතුල් විය. ඉන්පසු චිත්‍ර හා මූර්ති ශිල්පය පිළිබඳව හැදෑරීමට කොළඹ ටෙක්නිකල් කොලීජියට බැඳුණේ ය. පාසල් ගුරුවරයෙකු, භාෂා පරිවර්තකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් නිශ්පාදකවරයෙකු, අධ්‍යාපන නිළධාරියෙකු හා ලලිත කලා ආයතනයේ විදුහල්පති ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ගතවිය. ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනයක් ලියමින් සිටියදී ඇති වූ හෘදයාබාධයකින් 1976 ජනවාරි 14 දින ඔහු මෙලොවින් සමුගත්තේ ය. 


වසර 47ක කෙටි ජීවිත කාලය තුල ඔහු කලාවෙහි තබා ඇති සලකුණ අදටත් නොමැකී ඇත. සම්මානනීය ගේය පද රචකයෙක් වන අතරම කවි සාහිත්‍ය පෝෂණය සඳහා කාව්‍ය ග්‍රන්ථ 8ක් ඔහු අතින් ලියැවී ඇත. ව්‍යංගා, සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාද යත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි හා ප්‍රබුද්ධ ඒවා වේ. 

අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට

ඒ ගමනේ මට හමු වන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වාගෙම ඔබ හැමටත්
යම් දවසෙක හමු වනු ඇත

දෙපය බැඳෙන මළ පුඬුවෙන්
ඔබ යන මඟ ඇහිරී
බොරුව ඉසින අයස මඬින
ගත කිලි කුණු තැවරී
කැට මුගුරින් පහර ලබා
දුබල අතින් පොළොව බදා
මා දමන් ඔබ ඒ දවසේ
අසරණ වී වැළපෙන විට
මා ලිව් කවි මට වාගෙම
ඔබ හැමටත් පොදු වනු ඇත

මිනිස් ජීවිතයේ සියලු අක්මුල් ඔහුගේ කවිවල ලියැවී ඇත. දුක් කම්කටොලු වේදනා වගේම දවසක ඒ සියල්ල අවසන් කර නව ලොවක් බිහිවේවා යි යන බලාපොරොත්තුව ද ඔහුගේ කවිවල ඔබ්බවා ඇත. ඒ සඳහා යන ගමනේ ඇති බාධක ද, ඒවා උපේක්ෂාවෙන් උසුලන හැටි ද, පෙරලා පහර දෙන හැටි ද ඔහු කියයි. ඔහුගේ කවිය එවැනිය. ඔහු අපෙන් ඉල්ලන්නේ මෙය යි.

සබඳ ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න..

මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟ දැන
ඔබේ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගත හොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත.

ඒ මල් තුළ මා දකින්න.

මිනිසුන් එවන් ගමනක් යා යුතුව තිබිය ද පෞද්ගලික ප්‍රතිලාභ, සැප සම්පත් වෙනුවෙන් මිනිස්කම පාවාදෙන අයුරු ඔහු විවේචනය කරයි.

මා කවි ලියන අතර
මා මිතුරෝ
පොළව බෙදා වෙන් කරගෙන
ඒ මත රන් දිරියෙන්
ඇත් අස් රිය පිරිවර සෙන්
මහ මන්දිර ගොඩ නැගුවෝ
නිලතල ගරු බුහුමන්
රජ මැතිඳුන්ගෙන් ලැබුවෝ

ඔහුගේ කවිය සරල ය. ඕනෑම අයෙකුට අවබෝධ වන බස් වහරකින් සමන්විත ය. එමෙන්ම ඒවා මුවහත්‍ ය. පහර දිය යුතු තැනට ඍජුවම පහර දෙයි. මහපොළොව බෙදා වෙන්කරගෙන, ජාති ආගම් කුල වශයෙන් බෙදී වෛරය වපුරමින් මිනිසුන් ගෙවන ජීවිත වලට ඔහු එරෙහි වෙයි. සියලු දෙනාම එකතු වී එකම ගමනක් යා යුතු බව ඔහු දකියි.

ධර්මෙ
කාසිම් 
රාජසුන්දරම්
මෙහෙ වරෙල්ලා
අපි ඔක්කොම එකතුවෙලා 
මේ ලෝකය
යහපත් තැනක් කරමු මීට වැඩි ය

ඔහු ආදරය පිළිබඳව තබන සටහන ද ආදරණීය ය. හුදු ලෞකික ප්‍රේමයෙන් ඔබ්බට ගිය පුළුල් සමාජ ආදරයක් ගැන ඉඟි සපයයි. පෞද්ගලිකත්වය ඉක්මවූ ගැඹුරු ආදරයක් ගැන කතා කරයි. තම කවිය තුළ ආදරයේ සොඳුරු බව විදහා දක්වයි.

නොකීමුත් වචනයක් කිසිවිට
දරා ඉන්නා නමුත් සිත යට
වසන් කරනට බැරිය එය මට
දෙනෙත දෙනෙතින් බැඳී ගිය විට

ගැඹුරු තරමට සයුරු දියකඳ
තරඟ මතුපිට නිහඬ වන්නෙ ය
කළය ජලයෙන් පිරෙන තරමට
එයින් එන හඬ අඩුව යන්නෙ ය

සමාජයේ ව්‍යාජ ප්‍රතිරූපයට ඔහු ප්‍රබල පහරක් එල්ල කරයි. බාහිර ස්වරූපය මත සියල්ල මනින, මුදලට බලයට සියල්ල යටවූ සමාජය ඔහු උපහාසයට ලක් කරයි.

සිටියෝ විසිත්ත කාමරයෙහි
කළු කබා මහත ටයි
තරබාරු ප්‍රභූවරු
ගරුතර මැති ඇමතිවරු
පිටිකර රැළි වැටුණු
කඳ බඩ හොඳින් ආරපු
සංස්ථා ලොක්කෝ
සහ පෙරකදෝරුවෝ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසාගත්
රජයේ වරම් ලැබූ
ව්‍යාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අඳින
ඡන්දයට සල්ලිත් දෙන

සිටියෝ මෝරපු ගැහැණු
බැන්ද උස් කොණ්ඩා හා
ඝණ දෙතොල් උල් නිය ඇති
අඩවන් තඩිස්සි ඇස් 
ඉඟ දෙපසින් එල්ලෙන මස්
විජිනිපත් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොණින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්

ජීවිතය ගැන පමණක් නොව මරණය ගැනද ඔහු පන්හිඳ හසුරවයි. මරණය යනු ජයග්‍රාහී, සුන්දර අත්දැකීමක් බව 'නොමියෙමි' හි ඔහු කවි ගන්වා ඇත.

පතුල සිඹින වසින වරල
ඝණ මේ කුළු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි ඇලි
ගලන දුහුල රමණී
නිලන නිලඹ සිහිලඹ පිරි
නයන පොකුණු සොබනී
සසර කතර ගිම් සනහන
කෙම්බිම ඔබ මරණී

ඔහුට සිහිනයක් තිබුණි. ඔහුට පමණක් නොව වඩා හොඳ සමාජයක් පතන සියල්ලන්ටම එම සිහිනය ඇත. ඒ වෙනුවෙන් සේකර කවි ලීවේ ය. කලාව හැසිරවී ය. එම සිහිනය වෙනුවෙන් දිවි කැපකල, දහඩිය කඳුළු මුදාහල සියල්ලන් ගැනම ඔහු සිහිපත් කරයි. ඔවුන්ගේ කැපකිරීම් නිසා නව ලොවක් බිහිවන බව අවධාරණය කරයි.

පුත!
හෙට ඔබ පිබිදෙන විට
පෙර ගිරගින්
ලා රත්පැහ අරුණළු 
අලුත් ඉරක් පායනු ඇත
ඒ ඉර රත් පැහැ වූයේ
ඔබ වෙනුවෙන්
මේ පරපුර
අප
වැගිරූ ලේ වලිනුයි!

එබැවින් සේකර යනු නොමියෙන කවියෙකි. නොනිමි කවියකි.