Tuesday, April 14, 2020

සියවසක් පවත්නා දවස



එක අතකින් මේ දවස් හරිම අවිනිශ්චිතයි. බලාපොරොත්තු සහගත ව ජීවිතය ගැන හීන දකින්න සහ ඉතිහාසයට යට කරපු වැරදුණු, රිදුණු, දැනුණු හැමතැනක් ම ආයෙත් අවුස්සලා කියවලා බලන්න අවස්ථාවක් උදාවෙලා තියනවා. ඒත් මේ දවස් හරිම අවිනිශ්චිත යි.

නොපෙනෙන බලවේගයක් වගේ ඇවිත් කොයි මොහොතේ අනාගතය හකුලවා ගනීද? ඒ අසුභවාදී සිතුවිල්ල පැත්තක තියලා කතා කරමු. කෙළවරක් නැතුව ගලන මහවැලිය වගේ ජීවිතේ ගෙවුණු රටාව එකපාරටම නැවතිලා. රස විඳින්න, කියවන්න වගේම හිතන්නත් අවස්ථාවක් ලැබිලා. ඇත්තටම අපි කාලයක් තිස්සෙ හිතන එක නවත්තලා තිබුණෙ.

අවුරුදු ගාණක් පුරාම සුවනොවූ තුවාල ආයෙත් රිද්දලා බලන්න. හිත හදාගත්තා නෙමෙයි, වේදනාවට හුරු වුණා කියලා කියන අඳුරු මතක ආයෙත් අවුස්සන්න. ඔව් මට අවාසනාවන්ත විදියට වැරදුණා කියලා හිතෙන අතීතය ආයෙත් එළියට අරන් කියවන්න. මේක හිතන්න ලැබුණු පුදුමාකාර අවස්ථාවක්.

මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තණභූමි හරහා මළ සිරුරක් සමඟ මිනිසුන් කිහිප දෙනෙක් ගමනක් යනවා. මේ ස්ටෙප්ස් භූමිය පුරාම පුරාවෘත හා කතන්දර බොහොමයක් පැතිරිලා තියනවා.  මුතුන් මිත්තන්ගෙ ජීවිත වලින්, ඔවුන්ගෙ වික්‍රමයන්ගෙන්, ඒ වගේම කඳුළින් මේ භූමිය සාරවත් වෙලා. මහලු 'යෙදිගෙයි' ට මේ දීර්ඝ ගමන හිතන්න ලැබුණු හොඳ අවස්ථාවක්. අතීතය දිගහරින්න ලැබුණු හොඳ මොහොතක්. 

'සියවසක් පවත්නා දවස' නවකතාවක්. ගුරුගීතය, සමුගනිමි ගුල්සාරි, වේලාසන කොක්කු ඇවිත් කතුවරයා වන චින්ගීස් අයිත්මාතව්ගෙ තවත් එක් කතාවක්. එහි උණුහුම විඳින්න අයිතිය තියෙන්නෙ පිටු 495ක් කියවන්න හයිය තියන පොත්ගුල්ලන්ට විතරයි. මිනිස් ජීවිත වල සුවඳ පිටු පුරා හමන මේ කතාව අපිට මතක් කරනවා හිතන්න. අපේම කතාව ආයෙත් කියවන්න. 

අපිට පුළුවන් 'අබුතාලිප්' වගේ වෙන්නත්. ඒ දේවල් ලියන්න. වැරදුණු තැන් ගැන, මූසල හෝරාවන් ගැන, නපුරු අත්දැකීම් ගැන පොතක කුරුටු ගාලා තියන්න. ජාතික ආරක්ෂාව, නීතිය නාමයෙන් ඒවා අසම්මත නැත්නම් තව කෙනෙකුට කියවන්න ඒවා ඉතිරි වෙලා තියේවි. නැත්නම් අබුතාලිප් වගේ මැරිලා යාවි. 

කොහොම වුණත් ආයෙත් අපිට හිතන්න මොහොතක් ලැබෙන එකක් නෑ. මානව ශිෂ්ටාචාරය වෙනුවෙන් දවසින් දවස නොහිතාම ගත කරන්න අපිට වේවි. කාලය, කොරෝනා ව්‍යාප්තිය වගේ ඉක්මනට ගෙවිලා යාවි. ටෙලියක, චිත්‍රපටයක සංවේදී දර්ශනයකදි ඇරෙන්න අපේ කතාවට අඬන්න අපිට මඟ හැරේවි. 

ඉතිං, අද දවස සුවිශේෂි යි. අන් කවරදාටවත් වඩා අද දවස වැදගත්. මොකද අද තමයි 'සියවසක් පවත්නා දවස'.

No comments:

Post a Comment