Saturday, April 25, 2020

කොරෝනා දුන් වල්ගාතරු?

මෑතකදී ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතනයක වැඩසටහනකදී එක්තරා අනාවැකි කරුවෙක් 'වල්ගාතරු' සම්බන්ධ ව ප්‍රකාශයක් සිදු කළා. ඔහු එහිදී සඳහන් කළේ කොරෝනා වෛරසයට හේතුව වල්ගාතරුවක් බවයි. මේ ප්‍රකාශයත් සමඟම සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල කතාබහක් ඇති වූ බැවින් වල්ගාතරු සම්බන්ධ ව යම් තොරතුරු ප්‍රමාණයක් බෙදාගන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. 


  ඉතා ඈත අතීතයේදී මිනිසුන් ස්වභාවික වස්තු හා සංසිද්ධි වලට බියක් දැක්වූවා. විද්‍යාව නොදියුණු එම කාල වලදී මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු සියලු දේ අදහන්නත්, පුදන්නත් ඔවුන් යොමු වුණා. අහසෙ දක්නට ලැබුණු තරු ඇතුළු ආකාශ වස්තු ඔවුන් සැලකුවෙ දෙවිවරු විදියට. අහසේ සිට එම දෙවිවරු මෙලොව සියලු දේ පාලනය කරනු ඇතැයි ඔවුන් සිතුවා. ජ්‍යෝතිශ්‍ය වැනි විෂයන් බිහිවුණේ එවැනි විශ්වාස මත පදනම් වෙලා. වල්ගා තරුවක් අහසෙ දිස්වුණේ ඉතාම කලාතුරකින්. මේ නිසා එය සුවිශේෂි හෝ අසුභ පෙරනිමිත්තක් ලෙස ඔවුන් විසින් සැලකුවා. 

1950 දි ජාක් ඌට් නම් තාරකා විද්‍යාඥයා විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් යෝධ වලා පටලයක් තිබෙන බව සොයා ගන්නවා. මේ වලා පටලය වල්ගා තරු න්‍යෂ්ටි මිලියන ගණනකින් සමන්විතයි. මේ අසලින් යෝධ තරුවක් ගමන් කිරීමෙන් එහි ගුරුත්වාකර්ෂණය නිසා වල්ගාතරු න්‍යෂ්ටි ඉවතට විසි වෙනවා. ඒවා සූර්යයාගේ ගුරුත්වයට හසුවෙලා සෞරග්‍රහ මණ්ඩලය තුල චලනය වෙන්න ගන්නවා. එම වලා පටලය, එය සොයාගත් විද්‍යාඥයාගේ නමින් ඌට් වලාව (oort cloud) ලෙස පසු කලෙක නම් කරනවා. 

වල්ගා තරුවක් හිරු වටේ ගමන් කරන ආකාරය අනුව ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. 
1) ආවර්ත වල්ගාතරු (periodic comets)
2) ආවර්ත නොවන වල්ගාතරු (non periodic comets)

ආවර්ත වල්ගා තරු අනෙක් ග්‍රහලෝක වගේ හිරු වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරනවා. ඒ නිසා පෘථිවියටත් සමීපව නිරීක්ෂණය වෙන අවස්ථාවක් එනවා. ආවර්ත නොවන වල්ගාතරු හිරු අසලින් ගමන් කරමින් විශ්වයේ ඈතට ඇදී යනවා. ඒ නිසා එවැනි වල්ගාතරු පෘථිවිය ට නිරීක්ෂණය වෙන්නෙ එක් වරක් පමණයි. මේවා නැවත පැමිණෙයි කියලා හරියටම කියන්න අපහසුයි.


වල්ගාතරු න්‍යෂ්ටිය හැදිලා තියෙන්නෙ දුහුවිලි සහ අයිස් අංශු වලින්. හිරුට ලංවන විට මෙම අයිස් දියවෙනවා. දූවිලි හා වායූන් වල්ගයක් ආකාරයට විහිදෙනවා. සෑම විටම මෙම වල්ගය පිහිටන්නෙ හිරුගෙන් ඉවතට. හිරුට ලංවන විට වල්ගය දිගු වන අතර හිරුගෙන් ඈත්වන විට වල්ගය ක්‍රමයෙන් කුඩාවෙලා සාමාන්‍ය ගෝලාකාර හැඩයට දිස්වෙනවා. 

'හෙලිගේ වල්ගාතරුව' කියන්නෙ පෘථිවිය ට පැහැදිලිව දර්ශනය වන වල්ගාතරුවක්. එය හිරු වටා වටයක් ගමන් කරන්න වර්ෂ 76ක පමණ කාලයක් ගතවෙනවා. ඒ නිසා පෘථිවිය ට නිරීක්ෂණය වන්නෙත් වසර 76කට වරක්. අවසන් වරට හෙලිගේ වල්ගාතරුව දිස්වුණේ 1986දි. මේ අනුව 2061 හෝ 2062 දි මෙම වල්ගාතරුව නිරීක්ෂණය කරන්න පුළුවන්. 


කලින් සඳහන් කළා වගේම නොදියුණු යුගයන් වලදී මෙවැනි ආකාශ වස්තු වලට මිනිසුන් බියවුණා. නමුත් කාලයත් සමඟ මේ සම්බන්ධව නිවැරදි තොරතුරු අනාවරණය කරගන්න මිනිසාට පුළුවන් වුණා. ඒ වගේම තවමත් අනාවරණය කර නොගත් දැනුම් පද්ධති බොහොමයක් මේ විශ්වය තුළ තිබෙනවා. එලෙස තිබියදී පටු ව්‍යාපාරික හා දේශපාලනික අරමුණු වෙනුවෙන් මිත්‍යා මත පෝෂණය කරමින් සමාජය පසුගාමී කරන පුද්ගලයින් ඕනෑ තරම් දැකගන්න පුළුවන්. එවැනි මිත්‍යාවන් පරාජය කළ හැකි වන්නේ දැනුම හඹායාම හා සමාජගත කිරීමෙනුයි.