Monday, April 13, 2020

වෛරස



කවුද මේ වෛරස

වෛරස කියන්නෙ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක්. දෙවන ලෝක යුද්ධයට පසුව ලෝකයේ ඇතිවුණු දරුණුතම ව්‍යසනය ඇති කරන්න පුංචි වෛරසයකට පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා වෛරස පිළිබඳව සරල විද්‍යාත්මක හැඳින්වීමක් ඉදිරිපත් කරන එක තමයි මේ ලිපියෙ අරමුණ.

වෛරස කියන්නෙ ජීවියෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් ජීවියෙක්ද නැද්ද කියලා තීරණය කරන ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ශ්වසනය, පෝෂණය, බහිස්‍රාවය හා ප්‍රජනනය වගේ ලක්ෂණ ජීවින් සතුව තිබිය යුතුයි. නමුත් වෛරස ජීවී ලක්ෂණයක් ලෙස බොහෝවිට පෙන්වන්නෙ ප්‍රජනනය හෙවත් තම වර්ගයා බෝ කිරීම පමණයි. ඒ සඳහාත් වෛරසයක් අනිවාර්යයෙන්ම වෙනත් ජීවියෙකුගෙ දේහයේ සෛලයක් තුළට ඇතුල් විය යුතුයි. මේ නිසා වෛරස ජීවියෙක් විදියට නොසලකා, ආසාදන ඇති කිරීමේ හැකියාවක් සහිත අංශුවක් විදියටයි සලකන්නෙ.

20nm - 300nm පමණ වන ඉතාමත් කුඩා අංශු විශේෂයක් වන වෛරස නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂයක් භාවිතයෙන් පමණයි. ඒ වගේම විවිධාකාර හැඩ සහිත වෛරස වර්ග තිබෙනවා. විසිතල, හේලික්සාකාර, සූත්‍රිකාකාර, හිස හා වලිගය ආකාර කියන්නෙ එවැනි හැඩ කිහිපයක්. පෘථිවිය පුරාම පැතිරුණු වෛරස දර්ශ මිලියන ගණනක් තිබෙනවා. මිනිසුන්ට සතුන්ට පමණක් නෙමෙයි ශාකවලටත් කොටින්ම බැක්ටීරියා වලටත් ආසාදනය වෙන්න වෛරස වලට පුළුවන්. ශාක වලට ආසාදනය වන වෛරස ශාක වෛරස ලෙසත්, සතුන්ට ආසාදනය වන වෛරස සත්ත්ව වෛරස ලෙසත්, බැක්ටීරියා වලට ආසාදනය වන වෛරස බැක්ටීරියා භක්ෂක වෛරස ලෙසත් අපට වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නෙ කිසිම ජීවියෙකුට වෛරස වලින් බේරිලා ඉන්න පුළුවන් කමක් නෑ.



එක් වෛරසයක් සැලකුවම එහි පිටතින්ම තිබෙන්නෙ ප්‍රෝටීන සංයෝගවලින් හැදුණු ප්‍රෝටීන කොපුවක්/ආවරණයක්. වෛරසයේ හැඩය තීරණය වෙන්නෙ, වෛරසයට ආරක්ෂාව ලැබෙන්නෙ මේ ප්‍රෝටීන කොපුව නිසා. ප්‍රෝටීන කොපුවට ඇතුළතින් තිබෙන්නේ වෛරසයේ හරය. එහි අපි වෛරස ගෙනෝමය කියලා හඳුන්වන ප්‍රවේණික ද්‍රව්‍යය තිබෙනවා.

ප්‍රවේණික ද්‍රව්‍යය විදියට ක්‍රියාකරන්නෙ න්‍යෂ්ටික අම්ල (nucleic acid). න්‍යෂ්ටික අම්ල වර්ග දෙකක් තිබෙනවා. Deoxyribo Nucleic Acid (DNA) හා Ribo Nucleic Acid (RNA). සාමාන්‍යයෙන් ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍යය වෙන්නෙ DNA පමණයි. නමුත් වෛරස වල RNA පවා ප්‍රවේණික ද්‍රව්‍යය විදියට ක්‍රියා කරනවා. නමුත් කිසිම විටක වෛරස වල DNA හා RNA දෙකම එකවිට පවතින්නෙ නෑ.

වසූරිය වෛරසය, හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය හා බොහෝ බැක්ටීරියා භක්ෂක වෛරස වල DNA ත් ඉන්ෆ්ලුවන්සා වෛරසය, HIV, සරම්ප වෛරසය හා බොහෝ ශාක වෛරසවල RNA ත් පිහිටා තිබෙනවා.

ඒ වගේම හරය තුළ එන්සයිම එකක් හෝ කිහිපයක් පවතින්න පුළුවන්. පොලිමරේස් එන්සයිමය වෛරසයේ න්‍යෂ්ටික අම්ල (DNA හෝ RNA) ගුණනය වෙන්න උදව් වෙනවා. රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිමය වෛරසයේ RNA මඟින් DNA සංස්ලේෂණය කරන්න උපකාරී වෙනවා.

සමහර සත්ත්ව වෛරස වල ආවරණ කොපුවෙ ග්ලයිකො ප්‍රෝටීන වලින් හැදුණු කණ්ඨක පිහිටනවා. අපි දකින වෛරස ඡායාරූප වල උල් හැඩයෙන් තිබෙන්නෙ මෙම කණ්ඨක. යම් පෘෂ්ඨයක ඇලී ඉන්න මේවා උදව් වෙනවා.

වෛරසයක් ජීවී සෛලයක් අසළට පැමිණියාම සෛලයේ පිටත පෘෂ්ඨය තදින් අල්ලා ගන්නවා. ඉන්පසු වෛරස හරයේ ඇති ද්‍රව්‍යය (න්‍යෂ්ටික අම්ල හා එන්සයිම) සෛලය තුලට නිකුත් කරනවා. මෙම ද්‍රව්‍යය සෛලයේ සම්පූර්ණ පාලනය තමන් අතට ගන්නවා. සෛලය මෙතෙක් සිදුකල සියලු ක්‍රියා නවත්වලා වෛරසයට අවශ්‍ය ප්‍රෝටීන සංස්ලේෂණය කරන්න හා න්‍යෂ්ටික අම්ල ගුණනය කරගන්න මෙම සෛලය භාවිතා කරනවා. මේ අලුත් ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල එකතු වෙලා නව වෛරස විශාල ප්‍රමාණයක් නිපදවා සෛලයත් විනාශ කරගෙන පිටවෙනවා. ඔය විදියටයි ජීවි සෛල ඇතුලෙදි වෛරස තම වර්ගයා බෝ කිරීම සිදුකරන්නෙ.

වෛරස වලට තනිවම සංචරණය කරන්න හැකියාවක් නෑ. ඒ නිසා සෘජු ස්පර්ශය, වාහකයින් (මදුරුවන්) , කෙළ බිඳිති ආදී ආකාර වලිනුයි වෛරස සම්ප්‍රේෂණය වෙන්නෙ.

දුම්කොළ පත්‍ර විචිත්‍ර රෝගය, ටියුලිප්මේනියාව ආදි ශාකවලට සෑදෙන වෛරස් රෝග විශාල ප්‍රමාණයක් තිබෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව, වසූරිය, ජලභීතිකාව, පෝලියෝ, ඒඩ්ස්, ඩෙංගු, සෙංගමාලය, පැපොල, සරම්ප, කම්මුල්ගාය, කහ උණ හා covid-19 කියන්නෙ වෛරස මඟින් මිනිසාට සෑදෙන රෝග කිහිපයක්

සාමාන්‍යයෙන් ඕනෑම ජීවියෙක්ගෙ ප්‍රවේණික ද්‍රව්‍යය (DNA) ප්‍රතිගුණනය වෙනකොට අහඹු ලෙස වැරදීම් වෙන්න පුළුවන්. මේ නිසා විකෘති හටගන්නවා. DNA වලටත් වඩා RNA ප්‍රතිගුණනයේදි මේ වගේ විකෘති හටගැනීමේ හැකියාව වැඩියි.
ඒ නිසා වෛරස වල න්‍යෂ්ටික අම්ල (DNA හෝ RNA) ප්‍රතිගුණනය වීමේදී විකෘති ඇතිවෙලා වෙනස් වෙනස් වෛරස් ප්‍රභේද ඇතිවෙන්න තිබෙන හැකියාව වැඩියි. ජීවියාගෙන් ජීවියාට වගේම එකම ජීවියෙකුගෙ සෛලයෙන් සෛලයටත් වෙනස්වීම් වලට භාජනය වුණු වෛරස නිපදවෙනවා. එමනිසා මෙම රෝගවලට ප්‍රතිකාර කිරීමත් මර්දනය කිරීමත් ඉතාමත් අපහසුයි. නව වෛරස් ප්‍රභේද ඉදිරියටත් බිහිවීමට තිබෙන හැකියාව වැඩියි.



කොරෝනා කියන්නෙ වෛරස වර්ගයක් නෙමෙයි, වෛරස පවුලක්. සෙම්ප්‍රතිශ්‍යාවෙ ඉඳලා දරුණු ශ්වසන රෝග දක්වා රෝගාබාධ ඇතිකරන්න මෙම පවුලේ වෛරස වලට පුළුවන්. සාමාන්‍යයෙන් සතුන් අතර පැවතිලා මිනිසුන්ට සම්ප්‍රේෂණය වෙනවා. තවම මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවුණු වෛරස් වර්ගත් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරස වල ප්‍රවේණික ද්‍රව්‍යය විදියට තිබෙන්නෙ RNA අණුවක්. SARS, MERS, නවකොරෝනා (nCoV) කියන්නෙ මෙම පවුලට අයත් වෛරස වර්ග. නව කොරෝනා වෛරසය මඟින් සෑදෙන රෝගී තත්ත්වය COVID-19 ලෙස හඳුන්වනවා.

කලින් සඳහන් කරපු විදියට වෛරස රෝග වලට ප්‍රතිකාර කිරීම අපහසුයි. ඒ නිසා වැදගත් වෙන්නෙ රෝගයෙන් ආරක්ෂා වීම හා රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම. මේ වනවිටත් ඒ සඳහා සෞඛ්‍ය අංශවලින් උපදෙස් මාලාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීමෙන් මේ ව්‍යසන තත්වයෙන් ගොඩ එන්න අපට පුළුවන්.

නවකොරෝනා වෛරසයේ ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂීය ඡායාරූප කිහිපයක් මේ link එකෙන් බලන්න පුළුවන්.
http://www.mri.gov.lk/2020/02/15/images-of-new-coronavirus-just-released-by-livescience-com/

දැනගමු - රැකගමු (ශ්‍රී ලංකාවේ සර්පයින් )




මේ විශ්වය පුරාම ග්‍රහවස්තු විශාල ප්‍රමාණයක් තිබුණත්, ජීවය පවතිනවා කියලා තාමත් සැලකෙන්නෙ අපේ පෘථිවියෙ විතරයි. මේ අපූර්ව ග්‍රහලෝකයේ සුන්දරත්වය වැඩි කරන්නෙ මෙහි තිබෙන ජෛව විවිධත්වය විසින්. ගැඹුරු මුහුදු පත්ලේ හා ගහක මුල් විහිදෙන පසේ යටම ස්තරවල සිට කුරුල්ලෙකු ඉගිලෙන ඉහළම අහස් සීමාව දක්වා ජෛව ගෝලය පැතිරිලා තිබෙනවා. මෙහි සෑම ජීවී විශේෂයක්ම අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට ඉතාමත් වැදගත්. කොටින්ම අපේ ඇසටවත් නොපෙනෙන ක්ෂුද්‍රජීවීන් නොසිටියා නම් මිනිසුන් ලෙස අපට පැවැත්මක් නෑ. ඉතින්, සොබාදහමට වැදගත් එවැනි ජීවි කාණ්ඩයක් ගැනයි අද අපි කතා කරන්නෙ.

සර්පයින් කිව්වම සමහරවිට අපට දැනෙන්නෙ පිළිකුල් සහගත හෝ බියජනක හැඟීමක්. ඔවුන්ගේ පෙනුමත්, බොහෝ මිනිස් මරණ ඔවුන්ගේ දෂ්ටන නිසා සිදුවී තිබීමත් මෙයට හේතු වෙනවා. ඒ වගේම සාහිත්‍යයේ, ජනප්‍රවාදවල හා චිත්‍රපටවල පවා සර්පයින් ගැන විවිධ මත, කතන්දර පළ වෙලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් සර්පයින් කියලා කියන්නෙ සොබාදහමට ඉතාමත් වැදගත් සත්ත්ව කාණ්ඩයක්. අප ආරක්ෂා කරගත යුතු ජීවි කාණ්ඩයක්. 

ජීවී වර්ගීකරණයේදි ඇනිමාලියා රාජධානියේ, කෝඩේටා වංශයේ, රෙප්ටීලියා වර්ගයට සර්පයින් ඇතුළත්. ලංකාව කියන්නෙ ජෛව විවිධත්වයෙන් අනූන රටක් නිසා සර්ප විශේෂ 105ක් අපට දැකගන්න ලැබෙනවා. එයිනුත් සර්ප විශේෂ 50ක්ම මෙරටට ආවේණික යි. පරිසරයේ සමතුලිතතාව (Ecological balance) ආරක්ෂා කිරීමට මොවුන්ගෙන් විශාල සේවයක් සිදු වෙනවා. සර්පයින් ආහාර දාමවල ඉහළ මට්ටම්වල යැපෙන්නන්. මොවුන් මාංශ භක්ෂක යි. ඉතා කුඩා කෘමීන්ගේ සිට මුවන්, කිඹුලන් වැනි සතුන් පවා ගොදුරු කරගන්න සර්පයින් ට පුළුවන්. මීයන්, කෘමීන් වැනි සතුන්ගේ අසාමාන්‍ය බෝ වීම පාලනය කරන්න සර්පයින් වැදගත් වෙනවා. 



ඒ වගේම සර්ප විෂෙහි අඩංගු ජෛව සංඝටක වෛද්‍ය විද්‍යාවේ නොයෙක් ඖෂධ නිපදවීම සඳහා භාවිතා කරනවා. පිළිකා, සරම්ප, හිමෝෆීලියාව, ලාදුරු, මහාමාරිය, ඇදුම හා ඇතැම් ස්නායු රෝග සඳහා ඖෂධ නිපදවන්න මෙම විෂ යොදාගන්නවා. විශේෂයෙන් නාගයින්ගේ විෂෙහි ඇති cytotoxins පිළිකා ප්‍රතිකාර වලට භාවිතා කරනවා. 

ජලජ, භෞමික හා රුක්වාසි ලෙස වගේම පවතින විෂ අනුවත් සර්පයින් ව සරලව වර්ග කරන්න පුළුවන්. ඒ අනුව උග්‍රවිෂ, මඳවිෂ, සුළුවිෂ හා නිර්විෂ ලෙස කාණ්ඩ 4කට ඔවුන්ව බෙදා දක්වනවා. ලංකාවේ සිටින සර්ප විශේෂ 105න් විශේෂ 21ක් උග්‍රවිෂ සහිත සර්පයින්. එයිනුත් විශේෂ 15ක්ම මුහුදු සර්පයින්. මුහුද ආශ්‍රිතව වෙසෙන ජලජ සර්පයින් වන මොවුන් බහුලව දැකගන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම මොවුන් නිසා සිදුවන දෂ්ටන වාර්තා වෙන්නේත් ඉතාමත් කලාතුරකින්. ගොඩබිම වෙසෙන උග්‍රවිෂ සර්ප විශේෂ 5ක් මීට පෙර නම් කර තිබුණ ද මෑතක දී 'කුණකටුවා' ත් එම ගොනුවට ඇතුලත් වුණා. ඒ අනුව ලංකාවේ ගොඩබිම වෙසෙන උග්‍රවිෂ සහිත සර්ප විශේෂ 6 වන්නේ, 
1.නාගයා
2.තෙල් කරවලා
3.මුදු කරවලා
4.තිත් පොළඟා
5.වැලි පොළඟා
6.කුණකටුවා


මඳවිෂ සහිත සර්ප විශේෂ 3ක් හමුවෙනවා. කඳුකර මූකලන් තෙලිස්සා, පහතරට මූකලන් තෙලිස්සා හා පළාපොළඟා යන එම විශේෂ 3ම ලංකාවට ආවේණික යි. සුළු විෂ සර්ප විශේෂ 14ක් දැකගන්න පුළුවන්. (උදා: ඇහැටුල්ලා, නිදිමාපිලා, පොල්මල් කරවලා) ඉතිරි විශේෂ සියල්ලම නිර්විෂ හෙවත් කිසිම විෂක් නොමැති සර්පයින්. (උදා: අහරකුක්කා, කටකළුවා, ගැරඬියා, දියනයා, දෙපත්නයා)

සර්පයින් පරිසරයට කෙතරම් වැදගත් වුවත් ලංකාවේ බොහෝ දෙනා ඔවුන්ව දුටුතැන මරා දමන්න පෙළඹෙනවා. සර්පයින් ගැන නිවැරදි දැනුමක් අවබෝධයක් නොමැති කමත්, සමාජය පුරා පැතිරිලා තිබෙන ඇතැම් මිත්‍යා විශ්වාසත් මීට හේතු වෙනවා. ගැරඬියෙකු සපා කෑ විට වෙනත් කිසිම සර්පයෙකු සපා නොකන බව එවැනි මුල්බැසගෙන තිබෙන මතයක්. ගැරඬියා යනු අඩුකුලේ සර්පයෙකු බවත්, අනෙකුත් සර්පයින් කුලයෙන් උසස් බවත්, ඒ නිසා ගැරඬියෙකු සපා කෑ විට කුලමානය නිසා අනෙක් සර්පයින් සපා නොකන බවත් මෙහිදී කියැවෙනවා. එවැනි හාස්‍යජනක මිත්‍යා මත වගේම යම් විද්‍යාත්මක පදනමක් නිසා ගොඩනැගුණු මිත්‍යා මතත් සමාජයේ පවතිනවා. 


ලේමාපිලන් රාත්‍රියේදී නිදා සිටින මිනිසුන්ගේ ලේ උරා බොන බවත්, නිදිමාපිලන් නින්දේ සිටියදී මිනිසුන් මරණයට පත් කරන බවත් කියැවෙනවා. මේ සර්ප විශේෂ දෙකම සුළුවිෂ සර්ප විශේෂ බැවින් ඔවුන්ට මිනිසුන් මරණය ට පත් කිරීමට තරම් ප්‍රබල විෂක් නෑ. ඒ වගේම කිසිම සර්පයෙකු ලේ උරා බොන්නේ නැහැ. මේ මිත්‍යා විශ්වාස නිසා මෙවැනි සර්ප විශේෂ බොහෝ වශයෙන් මිනිසුන් අතින් මරණයට පත්වෙනවා. 

ඇහැටුල්ලන් මිනිසුන්ගේ ඇස් උගුල්ලනවා යැයි මතයක් පවතිනවා. නමුත් සිදුවන්නේ රුක්වාසි සර්ප විශේෂයක් වන මොවුන් මිනිසාගේ ඇස් මට්ටමේ ශාක වල වාසය කරන නිසා, රාත්‍රියේ මිනිස් ඇසේ දිලිසීමට බිය වී ඊට පහරදීමට පෙළඹීමයි.  නමුත් ඇස් උගුල්ලනවා වැනි දෙයක් සිදුවන්නේ නෑ. එමෙන්ම එක් සර්පයෙකු මැරූ විට තවත් සර්පයින් 7 දෙනෙකු පැමිණේ යැයි පවතින මතයේ යම් විද්‍යාත්මක පදනමක් තිබෙනවා. නමුත් 7 යන සංඛ්‍යාව මිත්‍යාවක්. සර්පයින් තම විරුද්ධ ලිංගිකයින් ආකර්ෂණය කර ගැනීමට 'පෙරමෝන' නම් ස්‍රාවයක් නිකුත් කරනවා. සර්පයෙකු තැලුණු විට හෝ මැරූ විට එම ස්‍රාවය නිකුත් වෙලා එම ඉවට විරුද්ධ ලිංගික සර්පයින් ඇදී එන්න පුළුවන්. ඒ අවට සර්පයින් සිටිනව ද නැද්ද යන්න මතයි ඒක තීරණය වෙන්නෙ. 



සර්පයින්ට බාහිර කන් පිහිටන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට ශබ්ද ඇසෙන්නේ නෑ. (ඔබ මතුරන මන්ත්‍ර ඔවුන්ට ඇහෙන්නේ නෑ) නමුත් පොළොවේ කම්පන වලට ඔවුන් ඉතාමත් සංවේදියි. නයි නටවන්නන් නළාව පිඹිමින් නයින් නටවක ආකාරය ඔබ දැක ඇති. එහිදී සිදුවන්නේ නයි නටවන්නා විසින් නළාව පිඹින අතරම තම පාදයෙන් පොළොවට රිද්මයානුකූලව තට්ටු කිරීම හා නළාව වටේට කරකවමින් නාද කිරීම. නාගයා ප්‍රතිචාර දක්වන්නේ එම පොළොවේ කම්පනයට හා නළාවේ චලනයට පමණයි. එමෙන්ම සර්පයින් ට වර්ණ හඳුනා ගැනීමේ හැකියාවක් ද නැහැ. ඔවුන්ට පෙනෙන්නේ කළු හා සුදු පමණයි. 

උග්‍රවිෂ සහිත සර්පයින් නිසා මිනිස් මරණ වාර්තා වෙනවා. ඒ බොහොමයක් මරණ නොසැලකිල්ල නිසාත්, නිසි ප්‍රථමාධාර හා ප්‍රතිකාර නොලැබීම නිසාත් සිදුවෙනවා. බොහෝ සර්පයින් එකවිට පහර නොදෙන අතර තර්ජනයන් මඟහැර යාමට උත්සාහ කරනවා. විශේෂයෙන් පොළොවේ කම්පනයක් දැනුණු විට එම ස්ථාන මඟහැර යනවා. මෙවැනි ජීවි විශේෂ පිළිබඳ දැනුම හා අවබෝධය පුළුල් කරගැනීමෙන් එවැනි අනතුරු වලින් ආරක්ෂා වීමට මෙන්ම සොබාදහමේ පැවැත්ම රැක ගැනීමටත් අපට පුළුවන්.