මේ විශ්වය පුරාම ග්‍රහවස්තු විශාල ප්‍රමාණයක් තිබුණත්, ජීවය පවතිනවා කියලා තාමත් සැලකෙන්නෙ අපේ පෘථිවියෙ විතරයි. මේ අපූර්ව ග්‍රහලෝකයේ සුන්දරත්වය වැඩි කරන්නෙ මෙහි තිබෙන ජෛව විවිධත්වය විසින්. ගැඹුරු මුහුදු පත්ලේ හා ගහක මුල් විහිදෙන පසේ යටම ස්තරවල සිට කුරුල්ලෙකු ඉගිලෙන ඉහළම අහස් සීමාව දක්වා ජෛව ගෝලය පැතිරිලා තිබෙනවා. මෙහි සෑම ජීවී විශේෂයක්ම අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට ඉතාමත් වැදගත්. කොටින්ම අපේ ඇසටවත් නොපෙනෙන ක්ෂුද්‍රජීවීන් නොසිටියා නම් මිනිසුන් ලෙස අපට පැවැත්මක් නෑ. ඉතින්, සොබාදහමට වැදගත් එවැනි ජීවි කාණ්ඩයක් ගැනයි අද අපි කතා කරන්නෙ.
සර්පයින් කිව්වම සමහරවිට අපට දැනෙන්නෙ පිළිකුල් සහගත හෝ බියජනක හැඟීමක්. ඔවුන්ගේ පෙනුමත්, බොහෝ මිනිස් මරණ ඔවුන්ගේ දෂ්ටන නිසා සිදුවී තිබීමත් මෙයට හේතු වෙනවා. ඒ වගේම සාහිත්‍යයේ, ජනප්‍රවාදවල හා චිත්‍රපටවල පවා සර්පයින් ගැන විවිධ මත, කතන්දර පළ වෙලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් සර්පයින් කියලා කියන්නෙ සොබාදහමට ඉතාමත් වැදගත් සත්ත්ව කාණ්ඩයක්. අප ආරක්ෂා කරගත යුතු ජීවි කාණ්ඩයක්.
ජීවී වර්ගීකරණයේදි ඇනිමාලියා රාජධානියේ, කෝඩේටා වංශයේ, රෙප්ටීලියා වර්ගයට සර්පයින් ඇතුළත්. ලංකාව කියන්නෙ ජෛව විවිධත්වයෙන් අනූන රටක් නිසා සර්ප විශේෂ 105ක් අපට දැකගන්න ලැබෙනවා. එයිනුත් සර්ප විශේෂ 50ක්ම මෙරටට ආවේණික යි. පරිසරයේ සමතුලිතතාව (Ecological balance) ආරක්ෂා කිරීමට මොවුන්ගෙන් විශාල සේවයක් සිදු වෙනවා. සර්පයින් ආහාර දාමවල ඉහළ මට්ටම්වල යැපෙන්නන්. මොවුන් මාංශ භක්ෂක යි. ඉතා කුඩා කෘමීන්ගේ සිට මුවන්, කිඹුලන් වැනි සතුන් පවා ගොදුරු කරගන්න සර්පයින් ට පුළුවන්. මීයන්, කෘමීන් වැනි සතුන්ගේ අසාමාන්‍ය බෝ වීම පාලනය කරන්න සර්පයින් වැදගත් වෙනවා.
ඒ වගේම සර්ප විෂෙහි අඩංගු ජෛව සංඝටක වෛද්‍ය විද්‍යාවේ නොයෙක් ඖෂධ නිපදවීම සඳහා භාවිතා කරනවා. පිළිකා, සරම්ප, හිමෝෆීලියාව, ලාදුරු, මහාමාරිය, ඇදුම හා ඇතැම් ස්නායු රෝග සඳහා ඖෂධ නිපදවන්න මෙම විෂ යොදාගන්නවා. විශේෂයෙන් නාගයින්ගේ විෂෙහි ඇති cytotoxins පිළිකා ප්‍රතිකාර වලට භාවිතා කරනවා.
ජලජ, භෞමික හා රුක්වාසි ලෙස වගේම පවතින විෂ අනුවත් සර්පයින් ව සරලව වර්ග කරන්න පුළුවන්. ඒ අනුව උග්‍රවිෂ, මඳවිෂ, සුළුවිෂ හා නිර්විෂ ලෙස කාණ්ඩ 4කට ඔවුන්ව බෙදා දක්වනවා. ලංකාවේ සිටින සර්ප විශේෂ 105න් විශේෂ 21ක් උග්‍රවිෂ සහිත සර්පයින්. එයිනුත් විශේෂ 15ක්ම මුහුදු සර්පයින්. මුහුද ආශ්‍රිතව වෙසෙන ජලජ සර්පයින් වන මොවුන් බහුලව දැකගන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම මොවුන් නිසා සිදුවන දෂ්ටන වාර්තා වෙන්නේත් ඉතාමත් කලාතුරකින්. ගොඩබිම වෙසෙන උග්‍රවිෂ සර්ප විශේෂ 5ක් මීට පෙර නම් කර තිබුණ ද මෑතක දී 'කුණකටුවා' ත් එම ගොනුවට ඇතුලත් වුණා. ඒ අනුව ලංකාවේ ගොඩබිම වෙසෙන උග්‍රවිෂ සහිත සර්ප විශේෂ 6 වන්නේ,
1.නාගයා
2.තෙල් කරවලා
3.මුදු කරවලා
4.තිත් පොළඟා
5.වැලි පොළඟා
6.කුණකටුවා
මඳවිෂ සහිත සර්ප විශේෂ 3ක් හමුවෙනවා. කඳුකර මූකලන් තෙලිස්සා, පහතරට මූකලන් තෙලිස්සා හා පළාපොළඟා යන එම විශේෂ 3ම ලංකාවට ආවේණික යි. සුළු විෂ සර්ප විශේෂ 14ක් දැකගන්න පුළුවන්. (උදා: ඇහැටුල්ලා, නිදිමාපිලා, පොල්මල් කරවලා) ඉතිරි විශේෂ සියල්ලම නිර්විෂ හෙවත් කිසිම විෂක් නොමැති සර්පයින්. (උදා: අහරකුක්කා, කටකළුවා, ගැරඬියා, දියනයා, දෙපත්නයා)
සර්පයින් පරිසරයට කෙතරම් වැදගත් වුවත් ලංකාවේ බොහෝ දෙනා ඔවුන්ව දුටුතැන මරා දමන්න පෙළඹෙනවා. සර්පයින් ගැන නිවැරදි දැනුමක් අවබෝධයක් නොමැති කමත්, සමාජය පුරා පැතිරිලා තිබෙන ඇතැම් මිත්‍යා විශ්වාසත් මීට හේතු වෙනවා. ගැරඬියෙකු සපා කෑ විට වෙනත් කිසිම සර්පයෙකු සපා නොකන බව එවැනි මුල්බැසගෙන තිබෙන මතයක්. ගැරඬියා යනු අඩුකුලේ සර්පයෙකු බවත්, අනෙකුත් සර්පයින් කුලයෙන් උසස් බවත්, ඒ නිසා ගැරඬියෙකු සපා කෑ විට කුලමානය නිසා අනෙක් සර්පයින් සපා නොකන බවත් මෙහිදී කියැවෙනවා. එවැනි හාස්‍යජනක මිත්‍යා මත වගේම යම් විද්‍යාත්මක පදනමක් නිසා ගොඩනැගුණු මිත්‍යා මතත් සමාජයේ පවතිනවා.
ලේමාපිලන් රාත්‍රියේදී නිදා සිටින මිනිසුන්ගේ ලේ උරා බොන බවත්, නිදිමාපිලන් නින්දේ සිටියදී මිනිසුන් මරණයට පත් කරන බවත් කියැවෙනවා. මේ සර්ප විශේෂ දෙකම සුළුවිෂ සර්ප විශේෂ බැවින් ඔවුන්ට මිනිසුන් මරණය ට පත් කිරීමට තරම් ප්‍රබල විෂක් නෑ. ඒ වගේම කිසිම සර්පයෙකු ලේ උරා බොන්නේ නැහැ. මේ මිත්‍යා විශ්වාස නිසා මෙවැනි සර්ප විශේෂ බොහෝ වශයෙන් මිනිසුන් අතින් මරණයට පත්වෙනවා.
ඇහැටුල්ලන් මිනිසුන්ගේ ඇස් උගුල්ලනවා යැයි මතයක් පවතිනවා. නමුත් සිදුවන්නේ රුක්වාසි සර්ප විශේෂයක් වන මොවුන් මිනිසාගේ ඇස් මට්ටමේ ශාක වල වාසය කරන නිසා, රාත්‍රියේ මිනිස් ඇසේ දිලිසීමට බිය වී ඊට පහරදීමට පෙළඹීමයි. නමුත් ඇස් උගුල්ලනවා වැනි දෙයක් සිදුවන්නේ නෑ. එමෙන්ම එක් සර්පයෙකු මැරූ විට තවත් සර්පයින් 7 දෙනෙකු පැමිණේ යැයි පවතින මතයේ යම් විද්‍යාත්මක පදනමක් තිබෙනවා. නමුත් 7 යන සංඛ්‍යාව මිත්‍යාවක්. සර්පයින් තම විරුද්ධ ලිංගිකයින් ආකර්ෂණය කර ගැනීමට 'පෙරමෝන' නම් ස්‍රාවයක් නිකුත් කරනවා. සර්පයෙකු තැලුණු විට හෝ මැරූ විට එම ස්‍රාවය නිකුත් වෙලා එම ඉවට විරුද්ධ ලිංගික සර්පයින් ඇදී එන්න පුළුවන්. ඒ අවට සර්පයින් සිටිනව ද නැද්ද යන්න මතයි ඒක තීරණය වෙන්නෙ.
සර්පයින්ට බාහිර කන් පිහිටන්නේ නෑ. ඒ නිසා ඔවුන්ට ශබ්ද ඇසෙන්නේ නෑ. (ඔබ මතුරන මන්ත්‍ර ඔවුන්ට ඇහෙන්නේ නෑ) නමුත් පොළොවේ කම්පන වලට ඔවුන් ඉතාමත් සංවේදියි. නයි නටවන්නන් නළාව පිඹිමින් නයින් නටවක ආකාරය ඔබ දැක ඇති. එහිදී සිදුවන්නේ නයි නටවන්නා විසින් නළාව පිඹින අතරම තම පාදයෙන් පොළොවට රිද්මයානුකූලව තට්ටු කිරීම හා නළාව වටේට කරකවමින් නාද කිරීම. නාගයා ප්‍රතිචාර දක්වන්නේ එම පොළොවේ කම්පනයට හා නළාවේ චලනයට පමණයි. එමෙන්ම සර්පයින් ට වර්ණ හඳුනා ගැනීමේ හැකියාවක් ද නැහැ. ඔවුන්ට පෙනෙන්නේ කළු හා සුදු පමණයි.
උග්‍රවිෂ සහිත සර්පයින් නිසා මිනිස් මරණ වාර්තා වෙනවා. ඒ බොහොමයක් මරණ නොසැලකිල්ල නිසාත්, නිසි ප්‍රථමාධාර හා ප්‍රතිකාර නොලැබීම නිසාත් සිදුවෙනවා. බොහෝ සර්පයින් එකවිට පහර නොදෙන අතර තර්ජනයන් මඟහැර යාමට උත්සාහ කරනවා. විශේෂයෙන් පොළොවේ කම්පනයක් දැනුණු විට එම ස්ථාන මඟහැර යනවා. මෙවැනි ජීවි විශේෂ පිළිබඳ දැනුම හා අවබෝධය පුළුල් කරගැනීමෙන් එවැනි අනතුරු වලින් ආරක්ෂා වීමට මෙන්ම සොබාදහමේ පැවැත්ම රැක ගැනීමටත් අපට පුළුවන්.
No comments:
Post a Comment