ධර්මය වටහා ගත හැකි
සත්‍යය - සුන්දර බව දැක ගත හැකි
උත්තර සමාජයක් ගොඩනැගුමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන් පැළදුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීමය...
( ප්‍රබුද්ධ - මහගම සේකර )
සමාජවාදය ගැන තියෙන දේශපාලනික, ආර්ථික විද්‍යාත්මක, දාර්ශනික නිර්වචන ඔක්කොම පැත්තකට දාලා අපි අපේ භාෂාවෙන් කතා කරොත්, අපි ප්‍රාර්ථනා කරන ලස්සන ලෝකෙට තමයි සමාජවාදය කියලා කියන්නෙ. අපි බලාපොරොත්තු වෙනවනම් වෙනසක්, මීට වඩා හොඳ ලෝකයක්, මනුස්සකම පිරුණු තැනක්, ඒක තමයි සමාජවාදය. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයා සහ මම හීනෙන් දකින අර ලස්සන ලෝකෙ, ඒකම තමයි සමාජවාදය.
අපි ජීවත්වෙන්නෙ ධනවාදී සමාජයක. ඒ කියන්නෙ මුදල් මත පදනම් වුණු සමාජයක. හැමදේම මිල කරන සමාජයක. ඕනම වස්තුවකට, ප්‍රපංචයකට වෙළෙඳ වටිනාකමක් තියෙන සමාජයක. අපි හිතුවොත් ඒ පදනම වෙනස් කරලා ගුණධර්ම, මනුස්සකම, ආදරය මත ගොඩනැගෙන ලෝකයක් ඕන කියලා, එහෙනම් අපි සමාජවාදය ගැන කතා කරමු. හැබැයි මීයගෙ ගෙදර ඉඳන් පූසගෙ හොඳ කියනකොට වැටෙන අමාරුවෙ අපි වැටෙනවා. මොකද අපි හුස්ම ගන්නෙ, ජීවත් වෙන්නෙ, කාලා ඇඳලා ඉන්නෙ මේ ධනවාදී ක්‍රමය ඇතුලෙ නිසා.
කිසිම කෙනෙක් තමන්ගෙ හතුරගෙ හොඳ නොකියන නිසා මේ system එකේ ජනමාධ්‍ය වලින් අපිට සමාජවාදය ගැන හොයාගන්න බෑ. මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ උගන්නන්නෙ නෑ. පොඩි කාලෙ බත් කවන්න ඕනකමට 'යක්කු' කියලා ජාතියක් ඉන්නවා කියලා පටන්ගත්ත brainwash එක අපේ ඔළුවලට දාලා තියෙන්නෙ සමාජවාදය ගැනත් කළු චිත්‍රයක් විතරයි. සමාජවාදය කියන්නෙ fail වුණු, යල් පැනගිය ක්‍රමයක් කියලා කියනකොට මට ඇහෙන්නෙ 'කිරිහොඳි ගෙදර ගියේය' වගේ කිසි තේරුමක් නැති වාක්‍යයක්. මොකද සමාජවාදය කියන්නෙම හෙට ගොඩනැගිය යුතු අළුත් සමාජයට. ධනේශ්වර ක්‍රමය රටින් රටට වෙනස් කියලා දන්න අය, සමාජවාදය කියන්නෙ රුසියාවෙ තිබුණු එක, ඒක අපේ රටට හරියන්නෙ නෑ කියලා කියනකොට ඒ brainwash එකේ තරම පේනවා.
ඒ මොනවා වුණත් සමාජවාදය කියන්නෙත් සුරංගනා ලෝකයක් නොවන බව මම පිළිගන්නවා. ඒක මීට වඩා හොඳ සමාජයක් විතරයි. හොඳ හොයාගෙන යන පරිවර්තීය කාල සීමාවක් විතරයි. පුරුදු ගොහොරුවෙ ඉන්නවට වඩා පියවරක් ඉස්සරහට තියන්න බය නැති විප්ලවීය හිත් සමාජවාදය හොයාගෙන යන්න ඕන කාලයක් මේක. ධනේශ්වර මාධ්‍යය වලින්, අධ්‍යාපනයෙන් අපිට නොකියන කියුබාවේ උදාහරණ වලින් එහෙම හිත්වලට එළියක් හොයාගන්න පුළුවන් කියලා විශ්වාසයි.
ලෝක සිතියමේ ඇමරිකාවට ආසන්නම තැනක කියුබාව පිහිටලා තියෙනවා. විශාලත්වය වර්ග කිලෝමීටර් 109884ක් වෙන ජනගහනය මිලියන 11ක් පමණ සිටින, ඇමරිකාවෙ ප්‍රධානම ප්‍රතිවාදියා විදියට සලකන රට කියුබාව. දැනට ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාව පවතිනවා කියලා සැලකෙන්නෙ කියුබාවෙ. සෑම නිවාස 200කටම එක් රෝහලක් බැගින් පිහිටා තිබෙන, රෝහලට පැමිණීමට නොහැකි අය පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන් හෙදියන් නිවෙස්වලට යන, ඖෂධ නිශ්පාදනය අතින්ද ඉහළින් සිටින රට කියුබාව. ඕනෑම ව්‍යසනයකදි වෙනත් රටවලට ඖෂධ හා වෛද්‍ය සේවා නොමිලේ සපයන්න කියුබාව පසුබට වෙන්නෙ නෑ. පසුගිය 21 වෙනිදා කියුබානු වෛද්‍යවරුන් හා හෙදියන් 65ක් ඉතාලියෙ මිලානෝ නුවරට ගියේ ඒ නිසයි.
"අපේ රට වෙනත් ජනතාවට බෝම්බ හෙලන්නේ නැත. නගරවලට බෝම්බ හෙලීමට ගුවන් යානා යවන්නේ නැත. න්‍යෂ්ටික, ජෛව හෝ රසායනික අවිවලින් පහර දෙන්නේ නැත. අපේ රටේ වැදගත් වන්නේ ජීවිත බේරා ගැනීම සඳහා අධ්‍යාපනය ලබා ඇති වෛද්‍යවරුන් ය. මනුෂ්‍යත්වය දිනේවා!."
(ෆිදෙල් කස්ත්‍රෝ)
නමුත් මේ කිසිම දෙයක් ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ අපිට දැකගන්න වෙන්නෙ නෑ. කියුබාව විසින් නිශ්පාදනය කළ බෙහෙතක් CoVid-19 රෝගය යටපත් කිරීමට භාවිතා කළ හැකිබව අපි ඇහුවෙත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විතරයි.
අනෙක් අතට සමාජවාදය කියන්නෙ කොච්චර වටිනාකමක් සහිත දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඉතිහාසයක් අපිටත් තියනවා. ලංකාව වගේම බොහෝ රටවල මිනිස්සු දසදහස් ගණනක් සමාජවාදය වෙනුවෙන් තමන්ගෙ ජීවිත කැප කරා. පෞද්ගලිකත්වය ඉක්මවලා තවමත් නොඉපදුණු පරපුරක් වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය පූජා කළා.
පුත!
හෙට ඔබ පිබිදෙන විට
පෙරගිරගින්
ලා රත් පැහැ අරුණළු
අලුත් ඉරක් පායනු ඇත.
ඒ ඉර රත් පැහැ වූයේ
ඔබ වෙනුවෙන්
මේ පරපුර
අප
වැගිරූ ලේ වලිනුයි.
( මක්නිසාද යත් - මහගම සේකර )
ලෝකය තේරුම් ගන්න, දැනුම ගවේෂණය කරන්න අවස්තාව පුළුල් කරන්න කියලා ඉල්ලන්නෙ සමාජවාදය. ලෙඩරෝග වලට බෙහෙත් දෙන්න, ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න කියලා ඉල්ලන්නෙ සමාජවාදය. පරිසරය විනාශ කරන්න එපා, සොබාදහම රැකගන්න කියලා ඉල්ලන්නෙ සමාජවාදය. මේ නරුම සමාජය එපා, අලුත් නැවුම් සමාජයක් ඕන කියලා ඉල්ලන්නෙ සමාජවාදය.
සමාජවාදය බිහිවෙන්නෙ එය විශ්වාස කරන, එය පිළිගන්න මිනිසුන්ගෙන්. ඓතිහාසිකව, දාර්ශනිකව, ආර්ථික විද්‍යාත්මකව හා දේශපාලනිකව සමාජවාදය හදාරන්න ඕන ඒ නිසා. කියුබාවෙ කොහොමද, රුසියාවෙ මොකද වුණේ, චීනය මොකද කරන්නෙ කියලා හරියටම කියවගන්න ඕන ඒ නිසා. පවතින ක්‍රමයෙ වහලෙක් නොවී අලුත් ගමනක් යන්න ඕනනම් ඒ හැදෑරීම අවශ්‍යම වේවි.
මකා දමා අර අහස් තලය දුර
මකා දමා ඉර හඳ තරු
නැවතත් අපි පසක් කරමු
මේ ලෝකය
මීට වඩා සැපවත් කොට
(මක්නිසාද යත් - මහගම සේකර)
No comments:
Post a Comment