Wednesday, June 10, 2020

...අවසානයට පසු


අවසානයෙන් පසු විසිවුණ 
කුණුරොඩු අතර ගැන්වුණ 
මකුළු වියනෙන් සුරැකුණ
කවුරුවත් ඇස නොගැටුණ
ඇතැම් පොතපත හමුවෙති
කිසිවෙක් බලා නිමවුණ

සිතුවිලි අන්ධ මොහොතක 
'නිමි' යන්න ඇස ගැල්වුණ
පිටු සියල්ලම අවසන
නිමක් ගැන නම් නොහිතුණ

නැවත අරගෙන දෝතට
පෙරළා නොරිදවා කවරෙට
බලනව දැනෙනවා එතකොට
පිටු සුවඳ ඇහැරවා මතකෙට

පරිච්ඡේදය පෙරළා දුක හිතුණු
ආයෙත් විඳිනවා උණුසුම් කඳුළු
එහෙම තැන්වලයි තාමත් බිඳුණු 
හිත නැවතිලා තිබුණෙ හිමි නොවුණු 

අකුරු අතර ඇමිණූ ආදරය
වැළඳගෙන ඇඟිලිතුඩු දිගුකර
කොමා ඇති තැන් පසුකර
තිත් හොයනවා පොත නිම කළ 

හදවතේ ගැඹුරුම කුටියක
සදාකාලෙට තැන්පත් කළ
තියනව ඇතැම් පොතපත
අවසානයට පසුවද
පෙරවදන ලියවුණ......

1 comment:

  1. කවිශ්ක ඔබගේ බ්ලොග් අඩවිය අපට අහම්බෙන් මුන ගැසුනේ! ඇයි එය නොලියන්නේ? ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ ප්‍රදර්ශණය කෙරේ! නැවත ලියන්නට පටන් ගන්න. ස්තූතියි!

    ReplyDelete