Wednesday, June 10, 2020

පළමු මිනිසා කවුද?

ලෝකයේ බොහෝ ආගම්වල මැවුම්කරුවෙකු ගැන සඳහන් වෙනවා. දෙවියන් විසින් මෙලොව සියලු දේ මැවූ බවත්, සියල්ල සිදුවන්නේ ඔහුගේ කැමැත්තට බවත්, මරණින් මතු ඔහු සමීපයට යා හැකි බවත් එවැනි ආගම්වල කියැවෙනවා. මිනිසාවද නිර්මාණය කළේ මේ දෙවියන් විසිනුයි. පළමු මිනිසා පිළිබඳව මූලෝත්පත්ති කතාවේ මේ පිළිබඳව විස්තර වෙනවා.

දෙවියන් විසින් ලෝකය නිර්මාණය කිරීමෙන් අනතුරුව තමන්ගේ ස්වරූපයට සමාන ව පළමු මිනිසා නිර්මාණය කළා. ඔහුගේ නම 'ආදම්'. ආදම්ගේ ඉල ඇටයකින් පළමු කාන්තාව වන 'ඒව' නිර්මාණය කළා. ඒ වගේම දෙවියන් විසින් මොවුන්ට 'ඊඩ්න්' නම් උද්‍යානයක් පවරා තිබුණා. එය මල්, පළතුරු පිරි අලංකාර උද්‍යානයක්. 

නමුත් මෙම උද්‍යානයේ තිබූ එක් ගසක ගෙඩි ආහාරයට ගැනීම දෙවියන් විසින් තහනම් කර තිබුණා. ඒ 'තහනම් ගස' යි. කෙසේ වෙතත් උද්‍යානයේ සිටි සර්පයෙක් මෙම ගෙඩි ආහාරයට ගන්නා ලෙස ඒව ව පෙළඹෙව්වා. ඒ අනුව ආදම් සහ ඒව මෙම ගසේ ගෙඩි ආහාරයට ගත්තා. ඉන්පසු මොවුන්ට තමන් නිරුවතින් සිටීම ගැන පළමුවරට ලැජ්ජාවක් ඇතිවුණා. මිනිසා මුලින්ම විළි වසා ගැනීමට යොමු වුණේ ඒ අනුවයි.

තහනම් ගසේ ගෙඩි අනුභව කළ බව දැනගත් දෙවියන් බොහෝ කෝපයට පත්වුණා. සර්පයින් මින්පසු පොළොවේ බඩගා ගෙන යා යුතු බවටත්, සියලු කාන්තාවන්ට දරුවන් බිහි කිරීමේදී දැඩි වේදනාවක් දැනිය යුතු බවටත්, සියලු මිනිස් වර්ගයාගේ ජීවිත මින්පසු දුක් වේදනා සහිත විය යුතු බවටත් ඔහු ශාප කළා. මොවුන් දෙදෙනාව උද්‍යානයෙන් ද පන්නා දැමුවා. 

ඉන්පසු ආදම් සහ ඒව බිහිකළ දරු පරම්පරා වලින් වර්තමාන මිනිස් සංහතිය නිර්මාණය වූ බව එම කතාන්දරයේ කියැවෙනවා. 

මෙම කතාව විවිධ ආගම් වල විවිධ වෙනස්කම් සහිතව සඳහන් වෙනවා. ඒ ඒ ආගම් අනුව මෙම ලෝක පාලක දෙවියන්ට විවිධ නම් තිබෙනවා. ඒ වගේම ඇතැම් විශ්වාසයන් වල එක් දෙවියෙකු නොව දෙවියන් සමූහයක් ගැන කියැවෙනවා. නෝර්ස්වරු හා ග්‍රීක්වරු මෙසේ දේව සමූහයක් ඇදහූ අයයි.

නෝර්ස්වරුන්ගේ ප්‍රධාන දෙවියා වන්නේ 'ඕඩින්'. ඕඩින් දිනක් තම මිත්‍ර දෙවිවරුන් සමඟ මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියා. එහිදී ඔවුන්ට කෙලින් අතට සිටුවා තිබෙන ලී කඳන් දෙකක් හමුවුණා. එක් ලී කඳකින් 'ආස්ක්' නැමැති පළමු මිනිසාවද, අනෙක් ලී කඳෙන් 'එම්බිලා' නැමැති පළමු කාන්තාවද ඔවුන් විසින් නිර්මාණය කළ බව කියැවෙනවා.

මේ අනුව පළමු මිනිසා පිළිබඳව ලොව පුරා විවිධ විශ්වාසයන් සහ කතන්දර පවතිනවා. විවිධ ආගම් සහ ඇදහිලි ක්‍රමවල විවිධාකාරයෙන් මේ පිළිබඳව විස්තර වෙනවා. නමුත් විද්‍යාත්මකව සැලකූ විට ලොව පළමු මිනිසා කවුද? Dr. Richard Dawkins විසින් රචිත The magic of reality ග්‍රන්ථයේ මේ ප්‍රශ්නයට පිළිතුර අපූරු උදාහරණයකින් පැහැදිලි කරනවා.

අපි මනෝමයෙන් මෙහෙම උපකල්පනයක් කරමු. ඔබ ඔබේ ඡායාරූපයක් අතට ගන්නවා. ඉන්පසු ඔබේ පියාගේ ඡායාරූපයක් ද, පියාගේත් පියාගේ ඡායාරූපයක් ද, පියාගේ පියාගේත් පියාගේ ඡායාරූපයක් ද ආකාරයට පෙර පරම්පරා වල ඡායාරූප එකතුවක් පෙළගස්සනවා. මෙය මනෝමයෙන් උපකල්පනය කර ගැනීමක් පමණයි. මෙලෙස අප ඡායාරූප මිලියන 185ක් පමණ එක පෙළට තබනවා. ඒ කියන්නෙ පරම්පරා මිලියන 185ක්. 

දැන් අපි මේ ඡායාරූප එකතුව දිහා බලමු. අපි මෙහි කෙළවරේම තිබෙන ඡායාරූපය අරන් බැලුවොත් එහි ඉන්නෙ මාළුවෙක්. ඒ කියන්නෙ ඔබේ මිලියන 185 වෙනි මී මුත්තා මාළුවෙක්.

250 000 වෙනි ඡායාරූපය අතට අරගෙන බැලුවම ඒකෙ ඉන්නවා චිම්පන්සියෙකුට සමාන පෙනුමක් තිබෙන වානරයෙක්. මිලියන 70 වෙනි ඡායාරූපයේ උණහපුළුවෙක් වැනි සතෙක් ඉන්නවා. මිලියන 170 වෙනි ඡායාරූපයේ කටුස්සෙක් වැනි උරගයෙක් ද, මිලියන 175 වෙනි ඡායාරූපයේ දියහූනෙක් වැනි උභය ජීවියෙක් ද සිටිනවා. මේ ආකාරයටයි අපේ පෙර පරම්පරා ගොඩනැගී තිබෙන්නේ.

මේ අනුව අපට පළමු මිනිසා යනුවෙන් කෙනෙක් ගැන කතාකරන්න බැහැ. අද සිටින මිනිසා නිර්මාණය වී තිබෙන්නේ මෙසේ ක්‍රමානුකූලව සිදු වූ පරිණාමීය ක්‍රියාවලිය නිසයි. එක් ජීවී ආකාරයකින් තවත් ජීවී ආකාරයක් බිහිවීමත් එක් රැයකින් සිදු වූවක් නෙමෙයි. ඒ සඳහා පරම්පරා ගණනාවක සුළු සුළු වෙනස්වීම් හේතු වුණා. 

ජීවයේ සම්භවයත්, මානව පරිණාමයත් අධ්‍යයනය කිරීමෙන් අපට මිනිසාගේ ඇත්ත මූලෝත්පත්ති කතාව දැනගන්න පුළුවන්. කලින් සඳහන් කළ මිත්‍යා කතා වගේ නෙමෙයි, ඒක අපූර්ව රසවත් කතන්දරයක්...

No comments:

Post a Comment