Wednesday, June 10, 2020

...අවසානයට පසු


අවසානයෙන් පසු විසිවුණ 
කුණුරොඩු අතර ගැන්වුණ 
මකුළු වියනෙන් සුරැකුණ
කවුරුවත් ඇස නොගැටුණ
ඇතැම් පොතපත හමුවෙති
කිසිවෙක් බලා නිමවුණ

සිතුවිලි අන්ධ මොහොතක 
'නිමි' යන්න ඇස ගැල්වුණ
පිටු සියල්ලම අවසන
නිමක් ගැන නම් නොහිතුණ

නැවත අරගෙන දෝතට
පෙරළා නොරිදවා කවරෙට
බලනව දැනෙනවා එතකොට
පිටු සුවඳ ඇහැරවා මතකෙට

පරිච්ඡේදය පෙරළා දුක හිතුණු
ආයෙත් විඳිනවා උණුසුම් කඳුළු
එහෙම තැන්වලයි තාමත් බිඳුණු 
හිත නැවතිලා තිබුණෙ හිමි නොවුණු 

අකුරු අතර ඇමිණූ ආදරය
වැළඳගෙන ඇඟිලිතුඩු දිගුකර
කොමා ඇති තැන් පසුකර
තිත් හොයනවා පොත නිම කළ 

හදවතේ ගැඹුරුම කුටියක
සදාකාලෙට තැන්පත් කළ
තියනව ඇතැම් පොතපත
අවසානයට පසුවද
පෙරවදන ලියවුණ......

පළමු මිනිසා කවුද?

ලෝකයේ බොහෝ ආගම්වල මැවුම්කරුවෙකු ගැන සඳහන් වෙනවා. දෙවියන් විසින් මෙලොව සියලු දේ මැවූ බවත්, සියල්ල සිදුවන්නේ ඔහුගේ කැමැත්තට බවත්, මරණින් මතු ඔහු සමීපයට යා හැකි බවත් එවැනි ආගම්වල කියැවෙනවා. මිනිසාවද නිර්මාණය කළේ මේ දෙවියන් විසිනුයි. පළමු මිනිසා පිළිබඳව මූලෝත්පත්ති කතාවේ මේ පිළිබඳව විස්තර වෙනවා.

දෙවියන් විසින් ලෝකය නිර්මාණය කිරීමෙන් අනතුරුව තමන්ගේ ස්වරූපයට සමාන ව පළමු මිනිසා නිර්මාණය කළා. ඔහුගේ නම 'ආදම්'. ආදම්ගේ ඉල ඇටයකින් පළමු කාන්තාව වන 'ඒව' නිර්මාණය කළා. ඒ වගේම දෙවියන් විසින් මොවුන්ට 'ඊඩ්න්' නම් උද්‍යානයක් පවරා තිබුණා. එය මල්, පළතුරු පිරි අලංකාර උද්‍යානයක්. 

නමුත් මෙම උද්‍යානයේ තිබූ එක් ගසක ගෙඩි ආහාරයට ගැනීම දෙවියන් විසින් තහනම් කර තිබුණා. ඒ 'තහනම් ගස' යි. කෙසේ වෙතත් උද්‍යානයේ සිටි සර්පයෙක් මෙම ගෙඩි ආහාරයට ගන්නා ලෙස ඒව ව පෙළඹෙව්වා. ඒ අනුව ආදම් සහ ඒව මෙම ගසේ ගෙඩි ආහාරයට ගත්තා. ඉන්පසු මොවුන්ට තමන් නිරුවතින් සිටීම ගැන පළමුවරට ලැජ්ජාවක් ඇතිවුණා. මිනිසා මුලින්ම විළි වසා ගැනීමට යොමු වුණේ ඒ අනුවයි.

තහනම් ගසේ ගෙඩි අනුභව කළ බව දැනගත් දෙවියන් බොහෝ කෝපයට පත්වුණා. සර්පයින් මින්පසු පොළොවේ බඩගා ගෙන යා යුතු බවටත්, සියලු කාන්තාවන්ට දරුවන් බිහි කිරීමේදී දැඩි වේදනාවක් දැනිය යුතු බවටත්, සියලු මිනිස් වර්ගයාගේ ජීවිත මින්පසු දුක් වේදනා සහිත විය යුතු බවටත් ඔහු ශාප කළා. මොවුන් දෙදෙනාව උද්‍යානයෙන් ද පන්නා දැමුවා. 

ඉන්පසු ආදම් සහ ඒව බිහිකළ දරු පරම්පරා වලින් වර්තමාන මිනිස් සංහතිය නිර්මාණය වූ බව එම කතාන්දරයේ කියැවෙනවා. 

මෙම කතාව විවිධ ආගම් වල විවිධ වෙනස්කම් සහිතව සඳහන් වෙනවා. ඒ ඒ ආගම් අනුව මෙම ලෝක පාලක දෙවියන්ට විවිධ නම් තිබෙනවා. ඒ වගේම ඇතැම් විශ්වාසයන් වල එක් දෙවියෙකු නොව දෙවියන් සමූහයක් ගැන කියැවෙනවා. නෝර්ස්වරු හා ග්‍රීක්වරු මෙසේ දේව සමූහයක් ඇදහූ අයයි.

නෝර්ස්වරුන්ගේ ප්‍රධාන දෙවියා වන්නේ 'ඕඩින්'. ඕඩින් දිනක් තම මිත්‍ර දෙවිවරුන් සමඟ මුහුදු වෙරළේ ඇවිදිමින් සිටියා. එහිදී ඔවුන්ට කෙලින් අතට සිටුවා තිබෙන ලී කඳන් දෙකක් හමුවුණා. එක් ලී කඳකින් 'ආස්ක්' නැමැති පළමු මිනිසාවද, අනෙක් ලී කඳෙන් 'එම්බිලා' නැමැති පළමු කාන්තාවද ඔවුන් විසින් නිර්මාණය කළ බව කියැවෙනවා.

මේ අනුව පළමු මිනිසා පිළිබඳව ලොව පුරා විවිධ විශ්වාසයන් සහ කතන්දර පවතිනවා. විවිධ ආගම් සහ ඇදහිලි ක්‍රමවල විවිධාකාරයෙන් මේ පිළිබඳව විස්තර වෙනවා. නමුත් විද්‍යාත්මකව සැලකූ විට ලොව පළමු මිනිසා කවුද? Dr. Richard Dawkins විසින් රචිත The magic of reality ග්‍රන්ථයේ මේ ප්‍රශ්නයට පිළිතුර අපූරු උදාහරණයකින් පැහැදිලි කරනවා.

අපි මනෝමයෙන් මෙහෙම උපකල්පනයක් කරමු. ඔබ ඔබේ ඡායාරූපයක් අතට ගන්නවා. ඉන්පසු ඔබේ පියාගේ ඡායාරූපයක් ද, පියාගේත් පියාගේ ඡායාරූපයක් ද, පියාගේ පියාගේත් පියාගේ ඡායාරූපයක් ද ආකාරයට පෙර පරම්පරා වල ඡායාරූප එකතුවක් පෙළගස්සනවා. මෙය මනෝමයෙන් උපකල්පනය කර ගැනීමක් පමණයි. මෙලෙස අප ඡායාරූප මිලියන 185ක් පමණ එක පෙළට තබනවා. ඒ කියන්නෙ පරම්පරා මිලියන 185ක්. 

දැන් අපි මේ ඡායාරූප එකතුව දිහා බලමු. අපි මෙහි කෙළවරේම තිබෙන ඡායාරූපය අරන් බැලුවොත් එහි ඉන්නෙ මාළුවෙක්. ඒ කියන්නෙ ඔබේ මිලියන 185 වෙනි මී මුත්තා මාළුවෙක්.

250 000 වෙනි ඡායාරූපය අතට අරගෙන බැලුවම ඒකෙ ඉන්නවා චිම්පන්සියෙකුට සමාන පෙනුමක් තිබෙන වානරයෙක්. මිලියන 70 වෙනි ඡායාරූපයේ උණහපුළුවෙක් වැනි සතෙක් ඉන්නවා. මිලියන 170 වෙනි ඡායාරූපයේ කටුස්සෙක් වැනි උරගයෙක් ද, මිලියන 175 වෙනි ඡායාරූපයේ දියහූනෙක් වැනි උභය ජීවියෙක් ද සිටිනවා. මේ ආකාරයටයි අපේ පෙර පරම්පරා ගොඩනැගී තිබෙන්නේ.

මේ අනුව අපට පළමු මිනිසා යනුවෙන් කෙනෙක් ගැන කතාකරන්න බැහැ. අද සිටින මිනිසා නිර්මාණය වී තිබෙන්නේ මෙසේ ක්‍රමානුකූලව සිදු වූ පරිණාමීය ක්‍රියාවලිය නිසයි. එක් ජීවී ආකාරයකින් තවත් ජීවී ආකාරයක් බිහිවීමත් එක් රැයකින් සිදු වූවක් නෙමෙයි. ඒ සඳහා පරම්පරා ගණනාවක සුළු සුළු වෙනස්වීම් හේතු වුණා. 

ජීවයේ සම්භවයත්, මානව පරිණාමයත් අධ්‍යයනය කිරීමෙන් අපට මිනිසාගේ ඇත්ත මූලෝත්පත්ති කතාව දැනගන්න පුළුවන්. කලින් සඳහන් කළ මිත්‍යා කතා වගේ නෙමෙයි, ඒක අපූර්ව රසවත් කතන්දරයක්...

Wednesday, May 6, 2020

අම්මා සහ මිහිකත



අයිත්මාතව්ගෙ ලේඛන ශෛලියෙ මොකක් හරි මායාවක් තියනවා කියලයි මට හිතෙන්නෙ. 'ගුරු ගීතය' කියන පුංචි කතාවෙත්, 'සියවසක් පවත්නා දවස' කියන දිගු කතාවෙත් එක සමානව හදවතට වදින, දැනෙන ගලායාමක් තිබෙනවා. සෝවියට් සාහිත්‍යයෙන් මුළු ලෝක සාහිත්‍යයම පෝෂණය වුණා කියන කතාව පිළිනොගෙන බෑ. එක අතකට 'අම්මා සහ මිහිකත' කියවීමත් භාග්‍යයක්.

අම්මා කෙනෙක් මිහිකත සමඟ කරන සංවාදයක් ලෙස කතාව දිව යනවා. රුසියානු විප්ලවයෙන් පසු දෙවන ලෝක යුධ සමයේ එක් අයිලයක අම්මා කෙනෙක් වටා කතාව ගොඩනැගී තිබෙනවා. ජීවිතයේ බොහෝ දුර ගෙවී ගිය පසු මතකාවර්ජනයට ඇය මිහිකත මුණගැසෙනවා. මිහිකත ඇයව සාදරයෙන් පිළිගන්නවා.

"පෘථිවි මාතාවෙනි, සුවන්තුල් සහ කසීම් වැනි පුද්ගලයින් මිය යන විට කඳු පාත් නොවන්නේත්, ඇළ දොළ ගංඟා උතුරා නොයන්නේත් මන්ද?"

ඒක ඉතාමත් අසීරු ප්‍රශ්නයක්. ඔවුන් ජීවත් ව සිටියදී මේ මහපොළොව ට ආදරය කළා. පොළොව වපුරා සාරවත් කළා. සතා සිව්පාවුන් පණ මෙන් රැක බලා ගත්තා. දැන් ඔවුන්ට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වී ඇත. එවන් වටිනා මිනිසුන් වෙනුවෙන් සොබාදහම ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ මන්ද? ප්‍රශ්නය නම් එවන් වටිනා ජීවිත අහිමි කළේ කවුද යන්නයි. ඒ යුද්ධය යි. 

"යුද්ධ නිසා සම්පූර්ණයෙන් ම අහෝසි වී ගිය ජනතා ගැන මම දනිමි. යුද්ධය නිසා ගිණිබත් වී විනාශ වුණු නගර තිබුණා. මිනිසා ගේ පා සටහන් දැකීමට මා සිහින දුටු ශතවර්ෂ තිබුණා. මිනිසුන් යුද්ධ පටන් ගත් සැමවිටම, මම ඔවුන්ට මෙසේ කියා සිටියෙමි, නවත්වනු! ලේ ගැලීම් නවත්වනු!"

මිහිකතට අනුව යුද්ධයෙන් ජය ගන්නෙක් නැත. යුද්ධය යනු ඛේදවාචකයක් ම පමණි.

"ලෝකයේ සියලු රටවල මිනිසුන් අප මෙන් ඔවුන් ගේ පුතුන්, සොයුරන්, පියවරුන් සහ සැමියන් බලාපොරුත්තුවෙන් සිටිති නම්, ඔවුනට අප මෙන් ආදරය කළේ නම් කිසි දිනක මිහිපිට යුද්ධයක් ඇති නොවනු ඇත."

යුද්ධයෙන් විනාශ වන්නේ මිනිස් ජීවිතයි. මව්වරුන්ට දරුවන් නැති වේ. දරුවන්ට පියවරුන් නැති වේ. යුද්ධය අහිමි වීම් වලින් පිරුණු ශෝකාන්තයකි. මිහිකත මෙහෙම කියනවා.

"දැන් දු මම මෙසේ කියමි. කඳුළු වලට එහා, සාගරයට එහා ජීවත්වම ජනයිනි,! මේ ලෝකයේ ජීවත් වන ජනයිනි, නුඹලාට ඕනෑ මොනවා ද? පෘථිවිය ද? මෙන්න මා තමයි, පෘථිවිය. මම සියලු දෙනාටම එක හා සමානයි. නුඹලා සියලු දෙනාම මට එක හා සමානයි. නුඹලා සියලු දෙනාට ම මගේ පෘථිවියේ ඉඩ තිබේ."

හමේ පැහැයට, ඇදහිල්ලට, භූමියට, බලයට යුධ වදින ලෝකයේ මිහිකත අපට කියන්නේ එයයි. ඉතිහාසය පුරාම ලේ වැගිරීම්, කඳුළු හෙලීම් පිරී තිබෙනවා. දහස් ගණනක් හදවත් නිකරුණේ මිහිදන් වෙලා තිබෙනවා. ඒවා හොඳින්ම දන්නේ පෘථිවි මාතාව පමණයි. අපි දැන්වත් මිහිකතට ඇහුම්කන් දිය යුතු යි. ඇය අප සියල්ලන්ගේ ම අම්මා ය. ඇය පවසන දේ දැන්වත් පිළිගත යුතු යි.

" කුඩා පැළයක් සිටුවපල්ලා. මම නුඹලා ට ඵල බරිත රුකක් දෙන්නම්.."

රාහු කේතු

ජ්‍යෝතිෂ්‍ය කියන්නෙ ලංකාවේ ජන ජීවිත සමඟ තදින් ම බැඳුණු ශාස්ත්‍රයක්. කොටින්ම රට පාලනය කරන දේශපාලඥයින් පවා තීන්දු තීරණ ගැනීමේදී මූලික වශයෙන් ජ්‍යෝතිෂ්‍ය සලකනවා. බොහෝ ජනමාධ්‍ය ආයතනවල පවා ජ්‍යෝතිෂ්‍ය වැඩසටහන් වලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා. ජ්‍යෝතිෂ්‍ය උපදේශකවරුන් බොහොමයක් ද රට පුරා දැකගන්න පුළුවන්.  


මෙම ජ්‍යෝතිෂ්‍ය පදනම් වන්නේ නවග්‍රහයින් ලෙස සැලකෙන ග්‍රහයින් නම දෙනෙකු, මිනිසාට සිදු කරන බලපෑම මතයි. එම නවග්‍රහයින් වන්නේ රවි, චන්ද්‍ර, බුධ, ශුක්‍ර, කුජ, ගුරු, ශනි, රාහු හා කේතු යි. මෙම ග්‍රහයින් සමහරක් තාරකා විද්‍යාවේදී ද අපට හමුවෙනවා. එනම් සූර්යයා, චන්ද්‍රයා, බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති හා සෙනසුරු යි. නමුත් නවග්‍රහයින් අතර සිටින රාහු හා කේතු අපට කිසිම තැනක දැකගන්න ලැබෙන්නේ නෑ.

පෙරදිග ජ්‍යෝතිෂ්‍යයේ ඡායා ග්‍රහයින් ලෙසත්, අපරදිග ජ්‍යෝතිෂ්‍යයේ ස්ථාන දෙකක් ලෙසත් රාහු හා කේතු හඳුන්වනවා. ජ්‍යෝතිෂ්‍යයේ විස්තර වන ආකාරයට අනෙක් ග්‍රහයින් මෙන් රාහු හා කේතු දෘශ්‍යමානවන ග්‍රහයින් දෙදෙනෙකු නොවේ. කොටින්ම රාහු හා කේතු ලෙස කිසිම වස්තුවක් පිහිටන්නේ නෑ. පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරන ගමන් මාර්ගයත්, සූර්යයා වටා පෘථිවිය ගමන් කරන ගමන් මාර්ගයත් දළ සටහනක නිරූපණය කළ විට, එම ගමන් මාර්ග දෙක ස්ථාන දෙකකින් ඡේදනය වෙනවා. එම ස්ථාන දෙකයි රාහු හා කේතු ලෙස ඔවුන් හඳුන්වන්නේ.



තවද එහි සඳහන් ආකාරයට මෙම ස්ථාන දෙකේ අධික බලයක් පවතිනවා. එමනිසා මිනිසාට මෙම ග්‍රහයින් මගින් විශාල බලපෑමක් සිදුකළ හැකියි. ජ්‍යෝතිෂ්‍යයේ සෑම ග්‍රහයෙකුට ම රූපමය නිරූපණයක් දී තිබෙනවා. ඒ අනුව රාහුට නාග හිසක් සහ මිනිස් ශරීරයක් තිබෙනවා. කේතු එහි විරුද්ධ ස්වභාවය. කේතුට මිනිස් හිසක් සහ නාග ශරීරයක් තිබෙනවා. රාහුගේ දශා කාලයන් වලදී මිනිසාව වැඩිපුර ඇවිද්දවනවා යැයි ද, කේතුගේ දශා කාලයන් වලදී ඔත්පල ව එකතැන සිටිනවා යැයි ද එහි සඳහන්. 



කෙසේ වෙතත් ඕනෑම දෙයක සත්‍යය තේරුම් ගැනීමට නම් අප එහි ඓතිහාසික පසුබිම හැදෑරිය යුතුයි. මිනිසාට ස්වභාවධර්මය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි කාලවලදී, ඔවුන් ස්වාභාවික වස්තුවලට විශාල බියක් දැක්වූවා. එමනිසා එම වස්තු දේවත්වයෙන් අදහන්නට ඔවුන් පෙළඹුණා. පෘථිවිය එකම තැන පිහිටන බවත්, සූර්යයා ඇතුළු ආකාශ වස්තු පෘථිවිය වටා යමින් මෙලොව පාලනය කරන බවත් ඔවුන් විශ්වාස කළා. එම විශ්වාසයන් මත පදනම්වයි ජ්‍යෝතිෂ්‍ය බිහිවුණේ. 

තවද ඇතැම් රාත්‍රී කාල වලදී ඔවුන් බිහිසුණු සිදුවීමක් දුටුවා. අහසේ පායා තිබුණු සඳ එකවරම වැසී ගියා. වෙනත් භයානක ග්‍රහයෙක් ඇවිත් සඳ ගිල දමන්නට ඇතැයි ඔවුන් සිතුවා. ඔවුන් බියපත් කළ එම ග්‍රහයාව රාහු ලෙස නම් කළා. 



එමෙන්ව ඇතැම් දිනවල දිවා කාලයේ හිරු එකවරම අඳුරු වුණා. තවත් භයානක ග්‍රහයෙකු ඇවිත් හිරු ගිල දමන්නට ඇතැයි ඔවුන් විශ්වාස කළා. එම භයානක ග්‍රහයාව කේතු ලෙස නම් කරා. 

රාහු සහ කේතු යන ග්‍රහයින් දෙදෙනා බිහිවන්නේ ඒ අනුවයි.

නමුත් සැබවින්ම සිදු වූයේ එවැන්නක් නොවේ. පළමු සිදුවීම වන්නේ චන්ද්‍රග්‍රහණයයි. එහිදී සූර්යයාත් චන්ද්‍රයාත් අතරට පෘථිවිය පැමිණෙනවා. එවිට සූර්යයාගේ ආලෝකය, පෘථිවිය ට ආවරණය වීම නිසා චන්ද්‍රයා ට නොලැබී යනවා. මේ නිසා සඳ අඳුරු වෙනවා. කිසිවෙකු විසින් සඳ ගිලගන්නේ නැහැ. දෙවැනි සිදුවීම වන්නේ සූර්යග්‍රහණය යි. පෘථිවිය හා සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණීමෙන් සූර්යයා නොපෙනී යනවා. කිසිවෙකු සූර්යයා ව ගිලින්නේ නැහැ. එය එසේ වුවද අදත් අප රාහු සහ කේතුගෙන් අපල සිදුවන බව විශ්වාස කරගෙන සිටිනවා. 



සූර්යයා සහ චන්ද්‍රයා ගෙන් පෘථිවිය ට බලපෑමක් වන බව විද්‍යාත්මකව අප දන්නවා. නමුත් මිනිසෙකුගේ අනාගතය තීරණය කිරීමටත්, අනාවැකි පැවසීමටත් එම වස්තු වලට බලයක් ඇත් ද යන්න නැවත සිතා බැලිය යුතුයි. ඒ කෙසේ වෙතත් සැබෑවට නොපවතින රාහු සහ කේතුගෙන් එවැනි බලපෑමක් වේ යැයි කෙසේ විශ්වාස කරන්න ද? වෙනත් රටවල් විසින් ඈත අභ්‍යවකාශයේ තවත් ජීවීන් සිටීදැයි ගවේෂණය කරද්දී, අප තවමත් රාහු සහ කේතුගේ අපලවල ට බියවීම හාස්‍යජනක නොවන්නේ ද? ප්‍රශ්න කිරීම ඔබට බාරයි.



Monday, April 27, 2020

අවුරෝරා

මේ විශ්වය පුරා අපට දැකගන්න පුළුවන් අපූර්ව සංසිද්ධි බොහොමයක් තිබෙනවා. 'අවුරෝරා' කියන්නෙත් එවැනි චමත්කාරජනක ස්වාභාවික සංසිද්ධියක්. නමුත් සමකාසන්න රටක් වශයෙන් 'අවුරෝරා' කියන වචනය අපට කිට්ටු නෑ. එහෙත් වෙනත් ආකාරවලින් මේ නම අපට අහන්න ලැබිලා තිබෙනවා. විශේෂයෙන් 1917 රුසියානු විප්ලවයෙදි සාර් රජුගේ ශීත මාළිගයට පහරදීමට යොදාගැනුණු යුධ නැවේ නම අවුරෝරා. තවද ග්‍රීක දෙවියන් අතරින් හිමිදිරියට අධිපති දෙවඟන වන්නේත් අවුරෝරා දෙවඟන. එම දෙවඟනගේ නමින් තමයි මෙම සංසිද්ධියත් නම් කරන්නෙ.

  සූර්යයාගේ මතුපිට සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන් නිසා තාපය, ආලෝකය මෙන්ම විවිධ ආරෝපිත අංශූන් නිකුත් වෙනවා. අප මෙය 'සූර්යය සුළඟ' ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් මෙසේ පිටවන ආරෝපිත අංශු වන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන අධික වේගයෙන් විසිරී යනවා. පෘථිවි සීමාවේදී පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නිසා මෙම අංශු උත්තර හා දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශ වලට ඇදී යනවා. එහිදී අපේ වායුගෝලයේ ඇති වායු වර්ගවල මෙම ආරෝපිත අංශු ගැටෙනවා.

මෙම ගැටීම් නිසා වායු පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම්වලට ගමන් කරනවා. එවිට එම පරමාණු ශක්තිය අධික, අස්ථායි තත්ත්වයට පත්වෙනවා. නැවත ස්ථායි වීමේදී එම ශක්තිය ෆෝටෝන ලෙස පිටකරනවා. ඒ නිසා විවිධ වර්ණවල ආලෝකයන් නිකුත්වෙනවා. මෙන්න මේ නිසා අපට ධ්‍රැවාසන්න ප්‍රදේශවල අහසේ විවිධ වර්ණ වලින් යුත් අලංකාර රටා දැකගන්න පුළුවන්. මේ චමත්කාරජනක සංසිද්ධිය තමයි 'අවුරෝරා' නමින් හඳුන්වන්නෙ.

සාමාන්‍යයෙන් සැතපුම් 60ක් පමණ ඉහළ ස්ථරවල ඇති ඔක්සිජන් අණුවල ගැටීමෙන් කහ/කොළ පැහැයක්ද, සැතපුම් 200ක් පමණ ඉහළ ස්ථරවල ඔක්සිජන් සමඟ ගැටීමෙන් රතු පැහැයක්ද නිකුත්වෙනවා. නයිට්‍රජන් වායු අණු සමඟ ගැටීමෙන් නිකුත්වෙන්නෙ දම්/රෝස වැනි පැහැයක්. මෙසේ විවිධ ස්ථරවල ඇති විවිධ වායු අණු සමඟ ගැටීමෙන් විවිධ වර්ණ හටගන්නවා. ඒ වගේම මේවා නොයෙක් අලංකාර රටා වලින්ද දැකගන්න පුළුවන්.

උත්තර ධ්‍රැවයේ හටගන්නා මෙම ආලෝක Aurora borealis ලෙසද, දක්ෂිණ ධ්‍රැවයේ හටගන්නා ඒවා Aurora australis ලෙසද හඳුන්වනවා. මේවා නිරීක්ෂණය පහසු වෙන්නෙ ශීත කාලවල. එම කාලවල ඉතා දිගු රාත්‍රියක් පවතින නිසා පැහැදිලිව දැකගන්න පුළුවන්.

අප ජීවත්වන මේ පෘථිවිය ඇතුළු විශ්වය අපූර්වතම වාසස්ථානයක්. විශාල පුදුමයන් හා අභිරහස් බොහොමයක් අප අතර පවතිනවා. සොබාදහම සම්බන්ධ දැනුම ගවේෂණයෙන් අපට බොහෝ විශ්මයජනක තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒවායේ විද්‍යාත්මක පසුබිමද හදාරන්න පුළුවන්. දුර ඈත පිහිටි තාරකා, ග්‍රහ වස්තු වලට අපගේ ඉරණම් බාර නොදී, නිවැරදිව ලෝකය තේරුම් ගැනීම සඳහා දැනුම ගවේෂණය කිරීම ඉතාමත් වැදගත්.

මේ link එකෙන් අවුරෝරා වල photos බොහොමයක් බලන්න පුළුවන්.   https://unsplash.com/s/photos/aurora-borealis

Saturday, April 25, 2020

කොරෝනා දුන් වල්ගාතරු?

මෑතකදී ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතනයක වැඩසටහනකදී එක්තරා අනාවැකි කරුවෙක් 'වල්ගාතරු' සම්බන්ධ ව ප්‍රකාශයක් සිදු කළා. ඔහු එහිදී සඳහන් කළේ කොරෝනා වෛරසයට හේතුව වල්ගාතරුවක් බවයි. මේ ප්‍රකාශයත් සමඟම සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල කතාබහක් ඇති වූ බැවින් වල්ගාතරු සම්බන්ධ ව යම් තොරතුරු ප්‍රමාණයක් බෙදාගන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා. 


  ඉතා ඈත අතීතයේදී මිනිසුන් ස්වභාවික වස්තු හා සංසිද්ධි වලට බියක් දැක්වූවා. විද්‍යාව නොදියුණු එම කාල වලදී මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු සියලු දේ අදහන්නත්, පුදන්නත් ඔවුන් යොමු වුණා. අහසෙ දක්නට ලැබුණු තරු ඇතුළු ආකාශ වස්තු ඔවුන් සැලකුවෙ දෙවිවරු විදියට. අහසේ සිට එම දෙවිවරු මෙලොව සියලු දේ පාලනය කරනු ඇතැයි ඔවුන් සිතුවා. ජ්‍යෝතිශ්‍ය වැනි විෂයන් බිහිවුණේ එවැනි විශ්වාස මත පදනම් වෙලා. වල්ගා තරුවක් අහසෙ දිස්වුණේ ඉතාම කලාතුරකින්. මේ නිසා එය සුවිශේෂි හෝ අසුභ පෙරනිමිත්තක් ලෙස ඔවුන් විසින් සැලකුවා. 

1950 දි ජාක් ඌට් නම් තාරකා විද්‍යාඥයා විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් යෝධ වලා පටලයක් තිබෙන බව සොයා ගන්නවා. මේ වලා පටලය වල්ගා තරු න්‍යෂ්ටි මිලියන ගණනකින් සමන්විතයි. මේ අසලින් යෝධ තරුවක් ගමන් කිරීමෙන් එහි ගුරුත්වාකර්ෂණය නිසා වල්ගාතරු න්‍යෂ්ටි ඉවතට විසි වෙනවා. ඒවා සූර්යයාගේ ගුරුත්වයට හසුවෙලා සෞරග්‍රහ මණ්ඩලය තුල චලනය වෙන්න ගන්නවා. එම වලා පටලය, එය සොයාගත් විද්‍යාඥයාගේ නමින් ඌට් වලාව (oort cloud) ලෙස පසු කලෙක නම් කරනවා. 

වල්ගා තරුවක් හිරු වටේ ගමන් කරන ආකාරය අනුව ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. 
1) ආවර්ත වල්ගාතරු (periodic comets)
2) ආවර්ත නොවන වල්ගාතරු (non periodic comets)

ආවර්ත වල්ගා තරු අනෙක් ග්‍රහලෝක වගේ හිරු වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරනවා. ඒ නිසා පෘථිවියටත් සමීපව නිරීක්ෂණය වෙන අවස්ථාවක් එනවා. ආවර්ත නොවන වල්ගාතරු හිරු අසලින් ගමන් කරමින් විශ්වයේ ඈතට ඇදී යනවා. ඒ නිසා එවැනි වල්ගාතරු පෘථිවිය ට නිරීක්ෂණය වෙන්නෙ එක් වරක් පමණයි. මේවා නැවත පැමිණෙයි කියලා හරියටම කියන්න අපහසුයි.


වල්ගාතරු න්‍යෂ්ටිය හැදිලා තියෙන්නෙ දුහුවිලි සහ අයිස් අංශු වලින්. හිරුට ලංවන විට මෙම අයිස් දියවෙනවා. දූවිලි හා වායූන් වල්ගයක් ආකාරයට විහිදෙනවා. සෑම විටම මෙම වල්ගය පිහිටන්නෙ හිරුගෙන් ඉවතට. හිරුට ලංවන විට වල්ගය දිගු වන අතර හිරුගෙන් ඈත්වන විට වල්ගය ක්‍රමයෙන් කුඩාවෙලා සාමාන්‍ය ගෝලාකාර හැඩයට දිස්වෙනවා. 

'හෙලිගේ වල්ගාතරුව' කියන්නෙ පෘථිවිය ට පැහැදිලිව දර්ශනය වන වල්ගාතරුවක්. එය හිරු වටා වටයක් ගමන් කරන්න වර්ෂ 76ක පමණ කාලයක් ගතවෙනවා. ඒ නිසා පෘථිවිය ට නිරීක්ෂණය වන්නෙත් වසර 76කට වරක්. අවසන් වරට හෙලිගේ වල්ගාතරුව දිස්වුණේ 1986දි. මේ අනුව 2061 හෝ 2062 දි මෙම වල්ගාතරුව නිරීක්ෂණය කරන්න පුළුවන්. 


කලින් සඳහන් කළා වගේම නොදියුණු යුගයන් වලදී මෙවැනි ආකාශ වස්තු වලට මිනිසුන් බියවුණා. නමුත් කාලයත් සමඟ මේ සම්බන්ධව නිවැරදි තොරතුරු අනාවරණය කරගන්න මිනිසාට පුළුවන් වුණා. ඒ වගේම තවමත් අනාවරණය කර නොගත් දැනුම් පද්ධති බොහොමයක් මේ විශ්වය තුළ තිබෙනවා. එලෙස තිබියදී පටු ව්‍යාපාරික හා දේශපාලනික අරමුණු වෙනුවෙන් මිත්‍යා මත පෝෂණය කරමින් සමාජය පසුගාමී කරන පුද්ගලයින් ඕනෑ තරම් දැකගන්න පුළුවන්. එවැනි මිත්‍යාවන් පරාජය කළ හැකි වන්නේ දැනුම හඹායාම හා සමාජගත කිරීමෙනුයි. 

Tuesday, April 14, 2020

සියවසක් පවත්නා දවස



එක අතකින් මේ දවස් හරිම අවිනිශ්චිතයි. බලාපොරොත්තු සහගත ව ජීවිතය ගැන හීන දකින්න සහ ඉතිහාසයට යට කරපු වැරදුණු, රිදුණු, දැනුණු හැමතැනක් ම ආයෙත් අවුස්සලා කියවලා බලන්න අවස්ථාවක් උදාවෙලා තියනවා. ඒත් මේ දවස් හරිම අවිනිශ්චිත යි.

නොපෙනෙන බලවේගයක් වගේ ඇවිත් කොයි මොහොතේ අනාගතය හකුලවා ගනීද? ඒ අසුභවාදී සිතුවිල්ල පැත්තක තියලා කතා කරමු. කෙළවරක් නැතුව ගලන මහවැලිය වගේ ජීවිතේ ගෙවුණු රටාව එකපාරටම නැවතිලා. රස විඳින්න, කියවන්න වගේම හිතන්නත් අවස්ථාවක් ලැබිලා. ඇත්තටම අපි කාලයක් තිස්සෙ හිතන එක නවත්තලා තිබුණෙ.

අවුරුදු ගාණක් පුරාම සුවනොවූ තුවාල ආයෙත් රිද්දලා බලන්න. හිත හදාගත්තා නෙමෙයි, වේදනාවට හුරු වුණා කියලා කියන අඳුරු මතක ආයෙත් අවුස්සන්න. ඔව් මට අවාසනාවන්ත විදියට වැරදුණා කියලා හිතෙන අතීතය ආයෙත් එළියට අරන් කියවන්න. මේක හිතන්න ලැබුණු පුදුමාකාර අවස්ථාවක්.

මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තණභූමි හරහා මළ සිරුරක් සමඟ මිනිසුන් කිහිප දෙනෙක් ගමනක් යනවා. මේ ස්ටෙප්ස් භූමිය පුරාම පුරාවෘත හා කතන්දර බොහොමයක් පැතිරිලා තියනවා.  මුතුන් මිත්තන්ගෙ ජීවිත වලින්, ඔවුන්ගෙ වික්‍රමයන්ගෙන්, ඒ වගේම කඳුළින් මේ භූමිය සාරවත් වෙලා. මහලු 'යෙදිගෙයි' ට මේ දීර්ඝ ගමන හිතන්න ලැබුණු හොඳ අවස්ථාවක්. අතීතය දිගහරින්න ලැබුණු හොඳ මොහොතක්. 

'සියවසක් පවත්නා දවස' නවකතාවක්. ගුරුගීතය, සමුගනිමි ගුල්සාරි, වේලාසන කොක්කු ඇවිත් කතුවරයා වන චින්ගීස් අයිත්මාතව්ගෙ තවත් එක් කතාවක්. එහි උණුහුම විඳින්න අයිතිය තියෙන්නෙ පිටු 495ක් කියවන්න හයිය තියන පොත්ගුල්ලන්ට විතරයි. මිනිස් ජීවිත වල සුවඳ පිටු පුරා හමන මේ කතාව අපිට මතක් කරනවා හිතන්න. අපේම කතාව ආයෙත් කියවන්න. 

අපිට පුළුවන් 'අබුතාලිප්' වගේ වෙන්නත්. ඒ දේවල් ලියන්න. වැරදුණු තැන් ගැන, මූසල හෝරාවන් ගැන, නපුරු අත්දැකීම් ගැන පොතක කුරුටු ගාලා තියන්න. ජාතික ආරක්ෂාව, නීතිය නාමයෙන් ඒවා අසම්මත නැත්නම් තව කෙනෙකුට කියවන්න ඒවා ඉතිරි වෙලා තියේවි. නැත්නම් අබුතාලිප් වගේ මැරිලා යාවි. 

කොහොම වුණත් ආයෙත් අපිට හිතන්න මොහොතක් ලැබෙන එකක් නෑ. මානව ශිෂ්ටාචාරය වෙනුවෙන් දවසින් දවස නොහිතාම ගත කරන්න අපිට වේවි. කාලය, කොරෝනා ව්‍යාප්තිය වගේ ඉක්මනට ගෙවිලා යාවි. ටෙලියක, චිත්‍රපටයක සංවේදී දර්ශනයකදි ඇරෙන්න අපේ කතාවට අඬන්න අපිට මඟ හැරේවි. 

ඉතිං, අද දවස සුවිශේෂි යි. අන් කවරදාටවත් වඩා අද දවස වැදගත්. මොකද අද තමයි 'සියවසක් පවත්නා දවස'.