Saturday, September 21, 2019

සුදු ඇඳගෙන කළු ඇවිදින්

එක දවසක් පළඟැටියෙක් චිත්‍රයක් අඳිනවා. චිත්‍රෙ පුරාම තියෙන්නෙ ගස්කොළන් විතරයි. ඒ චිත්‍රෙ ඇතුළට එන සමනළයෙක් මල් හොයන්න ගිහින් අතරමං වෙනවා. අනුන් ඇඳපු ලෝකෙක අපිට ඕන දේවල් හොයන්න ගියාම අතරමං වෙනේක අහන්නත් දෙයක්ද?

"ගහකොළ විතරයි පේන මානේ
සුළඟ හමනවා සුවඳක් නෑනේ
සිතියමේ උන්නු සමනළයා
මංමුලා වුණා..."

කූඹියෝ, බොහිමියානුවා බැලුවට පස්සෙ ලංකාවෙ tv serious එකකට කියලා බලන්න තිබුණෙ මේ කතාව. තරුණයන් එකා පිට එකා මරලා දාද්දි ජීවිතේ බේරගන්න තමන්ගෙ නමත් වෙනස් කරගෙන කොළඹට පැනලා යන ගමේ කොල්ලෙක්ට ආදරේ හම්බවෙනවා. විවාහවෙලා දරුවෙකුත් ලැබුණට පස්සෙ තමන්ගෙ අම්මට අසනීප නිසා නැවත ගමට එන්න වෙනවා. තමන් දාලා ගිහිපු ගම වෙනුවට විනාශවුණු නටඹුන් ටිකක් ඔහුට පේන්න තිබුණෙ. තමන් එක්ක එකට හිටිය, සටන් කෙරුව යාළුවො හැමෝම වගේ මරලා දාලා. සහෝදරියන්ව විනාශ කරලා. තමන්ගෙ හොඳම යාළුවගෙ නංගිව සමාජෙ අපවාද වලින් බේරගන්න එකම පාර සැමියෙක් හා තාත්තෙක් වෙන්න සිද්ධවෙනවා. කොළඹ තියලා ආපු ජීවිතේට ප්‍රශ්නාර්ථයක් එකතු වෙනවා. අවුරුදු 16කට පස්සෙ තමන්ට පිළිකාවක් තියනවා කියලා දෑනගෙන ගමේ ගිහින් ආපු නැති තමන්ගෙ සැමියව, තමන්ගෙ දුවගෙ තාත්තව හොයාගෙන ඇය ගමට එනවා. මැරෙන්න කලින් දරුවගෙ අනාගතේ ඒ (වංචාකාර) තාත්තට භාරදෙන්න හිතාගෙන. සාරාංශයක් විදියට ඔය ටික ගලපගන්න අවසාන කොටසත් බලන්නම වුණා.

වචනවලින් කියන්න බැරි රඟපෑම්, කැමරාකරණය ඇතුළු අනෙකුත් ක්ෂෙත්‍ර ගැන නොකියා මට ඕන මේ කතාව ගැන කතාකරන්න. තනිකරම වදන් ගොඩක් කියලා දකින්න පුළුවන්. කොටස් 99ක් කොහොමත් දිග වැඩියි. සාමාන්‍ය ගමක මිනිස්සු කතාකරන දෙබස් හරි advance. සාමාන්‍ය ගොවියෙක් පවා දෙන උත්තර ඇතුළෙ අපිට හිතන්න ගොඩක් දේවල් තියනවා.

"සුළිසුළං, මහවැහි, ගංවතුර, අකුණු
මේ ජීවිතේ උරුමයි."

හැබැයි කතාවෙ ගලායාමට ඒක බාධාවක් වෙලා නෑ. කැමරාවට/ප්‍රේක්ෂකයාට දෙබස් ඉදිරිපත් කරන ආකෘතියත් මුලින්ම දැක්කෙ මේකෙ. ඒක අති සාර්ථකව ගලපලා තිබුණා. අනවශ්‍ය චරිත මොකුත් නැති, හැම පොඩි චරිතයක්ම වැදගත් ලස්සන කතාවක් බවට 'සුදු ඇඳගෙන කළු ඇවිදින්' පත්වෙලා තිබුණා.

පොතක, චිත්‍රපටියක, කතාවක අපි කැමතිම චරිතයක් ඉන්නවා. හිතට වැදුණු චරිතයක්. මට මේකෙ ඒ තැන ගත්තෙ වලිසුදා. එහෙම වෙන්න බලපෑවෙ දෙබස් කීපයක් විතරයි. කොහොමත් චරිත සියල්ලම අතරින් යථාර්ථයට ළඟම එකා වලිසුදා. අමරපාලලා වගේ අය හරි අඩුයි. නයනානන්දලා වගේ ගුරුවරු අපිට වැඩිපුර මුණගැහුණෙම ගුරුගීතය වගේ තවත් කලා නිර්මාණෙක විතරයි. රූපසිංහලා වගේ ආදරය කරන්න පුළුවන් මිනිස්සු කොහෙන් කියලා හොයන්නද. හැබැයි හැමදේම සල්ලිවලට ගන්න පුළුවන් කියලා හිතන, පරිසරය, සොබාදහම සල්ලිමිටි බවට පත්කරන, මිනිස්සුන්ගෙ දාඩිය මහන්සිය හොරකම් කරලා ජීවත්වෙන වලිසුදාලා නම් ඕසෙට ඉන්නවා. හැබැයි එහෙම මිනිහටත් හෘදසාක්ෂියක් තියනවා කියලා අපිට කියනවා.

"ඒ දිමියො කාපු තැන් තාමත් ඇදුම් දෙනවා අම්මේ.
පොල්තෙල් ගාන්නද?
ඇදුම් කන තුවාලෙ ජීවිතේ පුරාවටම රිදෙනවා අම්මේ..."

ඔව්. මේ ලෝකෙ කළු සහ සුදු චරිත නෑ. වෙලාවක දුෂ්ටයා වෙන්නෙත් වෙලාවක වීරයා වෙන්නෙත් එකම කෙනා. මිනිස්සු කියන්නෙ හොඳ නරක දෙකම. ඇට මස් ලේ නහර වලින් හැදුණු මිනිස්සු දුෂ්ටයො කියලා අපි විශ්වාස කරන්නෙ කොහොමද? වැරැද්ද ඇත්තෙ වෙන තැනක.

පිස්සෙක් ඇවිත් හැම episode එකකම අපිට ටොක්කක් ඇනලා යනවා. මේ මුළු සමාජෙටම පිස්සු කියලා අපිට මතක් කරලා දෙනවා. අපි හැමදාම හොරවෙද්දු ගාවට ගියා. අනිත් උන්ට පිස්සු කියලා බැන බැන හිටියා. අපේ පිස්සුව වැඩිවුණා විතරයි.

"මං පිස්සෙක්ලු.
එහෙම කියන උන්ටයි පිස්සු.
උන්ට පිස්සු නැත්තන් එහෙම වෙයිද?
දෙකයි පනහෙ පාට පාට යක්කු රජ කරනවා.
මගෙ පිස්සුව හොඳ කරන්න කලින් උඹලගෙ පිස්සුව හොඳ කරගනිල්ලා."

වෙල්යාය මැද එක ගහක් තියනවා. දුකක් දැනුනම පැංචා ඒ ගහට නැගලා දිව්‍යලෝකෙ ඉන්න අම්මට කතාකරනවා. ගොඩක් අයගෙ දුක කියන ගහ ඒ. මේ සමාජෙ හැමකෙනාටම එහෙම symbol එකක් තියනවා. කතාව අපේ කතාවක් වෙන්නෙ එහෙමයි.

නයනානන්දට තිබුණෙ ටවුමෙ ස්කෝලෙක principal වෙලා සැපවත් ජීවිතයක් ගෙවන්න. ළමයි 50ක්වත් නැති ස්කෝලෙක දුයිෂෙන් කෙනෙක් වෙන්නෙ මොකටද? එතනට සුදුසු නාරද වගේ ළමයින්ව හේන් කොටන්න දක්කන ගුරුවරු. කලාව ඇතුලෙ සමාජෙට ඕන පරමාදර්ශි චරිත මවලා පෙන්නනේක සාමාන්‍යයි. නයනානන්ද කෙනෙක් වෙන්න මේක බලන නාරදලට බලපෑමක් කරන්න පුළුවන් වෙනවා. හැබැයි තව නයනානන්දලා කොහෙන් හොයන්නද. පළඟැටියා අඳින්නෙ නාරදලව විතරයි.

මේ ගංකාරයො ටික අපිට පෙන්නපු කතාව සහ කියන්න හදපු කතාව සාපේක්ෂව සංකීර්ණයි. ඒ නිසා මේක නිරමාණයක් විදියට සාර්ථක වුණා වගේම මේ සමාජෙ ඉන්න කළු හා සුදු චරිතවලට හිතන්න දීපු point ටික මාරයි. අනුන්ගෙ චිත්‍රෙක පාට දිහා බලන් ඉන්නෙ නැතුව අපේම චිත්‍රයක් ඇඳපන් කියල නොකියා කිව්වා. ඒකෙ කොළ වගේම මලුත් අඳිමු. නයනානන්දලා රූපසිංහලා වගේම මදයලා වලිසුදාලත් අදිමු. අඩුම තරමෙ ඒකෙ අපි අතරමං වෙනේකක් නෑ. අඩුම තරමෙ පැංචලා, අයෝමලා, රංගලා, සුරංගිලා අතරමං වෙනේකක් නෑ. 

"ඇයි යන්නෙ?
අල්ලගන්න බෑ. දාලා යන්න වෙනවා.
ඒ තමයි ජීවිතේ....."

No comments:

Post a Comment