Saturday, September 21, 2019

ආදරයත් අරගලයක් සහෝදරයා...

මේ ජීවිතේ හරිම සංකීර්ණයි. හෙට දවස උදාවෙනකන්ම අපි දන්නෙ නෑ මොන අතට රෝදෙ කැරකෙයිද කියලා. ජීවිතේ කියන්නෙ රස්තියාදුවක් කියලත් සමහරු කියනවා. හැබැයි අපි අවුරුදු 4කට එක දෙයක් ගැන විශ්වාස කරන්න ගන්නවා. ඒ තමයි අරගලය.

ඔව්, මං කතාකරන්නෙ අපෙ අයිතීන් අපිට දීපන් කියලා කොළඹ පාරවල් වහගෙන, යටි ගිරියෙන් කෑ ගහගෙන, ගෙවුණු බාටා දෙක කැඩෙනකන් පෙළපාලි යන එක තමයි. අට්ටාල ගහගෙන රැයක් දවාලක් නැතුව සත්‍යග්‍රහ උපවාස කරන එක තමයි. අපිට කොහොම හැඟීමක් තිබුණත් පිට ඉඳන් බලන මිනිස්සුන්ට අරගලය කියන්නෙ නිශ්ඵල, ප්‍රයෝජනයක් නැති, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක්. හැබැයි විශ්වවිද්‍යාල ඇතුලෙ අපි අනුන් වෙනුවෙන් ආදරය කරන එක විදියක් විදියටයි අරගලය දකින්නෙ. 

සමහර දවස්වල අපි කතා කරන්නෙ අපි ගැනම නෙමෙයි. අපි නොදැකපු උන්ගෙ අයිතියක් ගැන. සමහර දවස්වල අපි කතා කරන්නෙ තවම ඉපදිලාවත් නැති උන්ගෙ අනාගතයක් ගැන. අපි විශ්වාස කරන්නෙ මීට වඩා හොඳ සමාජයක් ගැන. සරලවම කියනවනම් අපි මේ system එකත් එක්ක තරහයි. මීට වඩා හොඳ සමාජ ක්‍රමයක් මේ මහපොළොවෙ පැළවෙන්න ඕන කියලා අපි හීන දකිනවා. මීට වඩා එකමුතු, සහෝදරත්වය පිරුණු, ආදරය පිරුණු සමාජයක්. හැබැයි අපි ඒ හීනෙ දකින්නෙ තවමත් මේ පල්වුණු, ගඳ ගහන සමාජෙ ඇතුලෙ ඉඳගෙන. අපි ලොකුවට සමාජ ආදරයක් ගැන කතා කරන්නෙ ආදරය වෙන්දේසි වෙන, ලාභෙට විකිණෙන මේ සමාජෙ ඇතුලෙ ඉඳගෙන. සමාජෙ වෙනස් කරන්න අපි අරගල කරන්නෙ මේ සමාජ ක්‍රමයට අනුගත වෙලා ජීවත්වෙන ගමන්මයි. 

විශ්වවිද්‍යාලවල අරගල කරන උන්ට බනින, එළියෙ මිනිස්සු කියන එක කතාවක් තියනවා. "අවුරුදු 4කින් degreeයක් අරගෙන එළියට ගියාම ඔය කිසිම අරගලයක් වලංගු නෑ. ඊට පස්සෙ ඒ මනුස්සයා වෙනස් කරන්න හදපු සමාජෙ ඇතුලෙ වහලෙක් වෙලා ඒ සමාජයම පෝෂණය කරමින් ජීවත්වෙනවා. ඕවා තරුණකමට කරන වැඩ විතරයි. උන් කතා කරපු දාර්ශනික, දේශපාලනික න්‍යාය, තර්ක, සිද්ධාන්ත ලෞකික ජීවිතය ඉස්සරහ කෝටේෂන් වලට විතරක්, නැත්තම් රස විඳලා විසිකරන කලා නිර්මාණවලට විතරක් සීමා කරනවා." ඛේදවාචකය කොහෙද කොතනද කියලා හිතන්න මට ඔබට බාරයි. 

හැබැයි අපි තවමත් අරගලය විශ්වාස කරනවා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැතිබව විශ්වාස කරනවා. මොකද ඉතිහාසය පුරාම අපි දිනාගත්ත හැමදෙයක් පිටිපස්සෙම අරගලයක් සහ කැපකිරීම් කරපු පිරිසක් ඉන්නවා. වෙන විදියකට කියනවනම් සමාජයට ආදරය කරපු උන් ටිකක් ඉන්නවා. උන්ගෙ ආදරය ගැන, උන්ගෙ කැපකිරීම් ගැන අපි අදත් මහ ඉහළින් කතා කරනවා. මොකද අපිට උන් වීරයො.

වීරයො කියන්නෙම අපිට කරන්න අමාරුම දේවල් කරපු අය. ඒ නිසාමද කොහෙද උන්ගෙ කැපකිරීම්, උන්ගෙ ආදරය අපිට කරන්න වුණෝතින් අපි දෙපාරක් හිතනවා. සමාජෙ වෙනස් කරන්න කියලා අපිට කියනකොට අපි මේ සමාජෙ තව දවසක් ගෙවන්න සැලසුම් හදනවා. ඇගේ මයිල් කෙලින් වෙන, පපුවෙ රිද්මෙට හඬ පිටවෙන කතාවකට පස්සෙත් අපි පොඩ්ඩක් පියවරක් තියන්න බයවෙනවා. ආදරය කරන්න බයවෙනවා. 

මොකද අපි ආදරය කරන අය ඉන්නවා. අපිට ආදරය කරන අය ඉන්නවා. කවදාවත් නොදැකපු අය නෙමෙයි. ලඟින් ඉඳන් උණුහුම දෙන අය ඉන්නවා. තවම ඉපදිලාවත් නැති අය නෙමෙයි. හිතේ ගැඹුරුම තැනක තැන්පත් වුණු අය ඉන්නවා. මේ සමාජෙ වෙනස් කරන හීනෙට කලින් අපි දකින සුන්දර අහිංසක හීනයක් තියනවා. ඒ ආත්මාර්ථකාමී කුහක හැඟීම ඉස්සරහ ආදරයට දෙවැනි තැන ගන්න සිද්ධවෙනවා. හැම මනුස්සයෙක්ම ඒ හැඟීම ඉස්සරහ අසරණ වෙනවා. 

මට අරගලය ගැන කියන්න ඕන ඒක. campus එකට අලුත් නැවක් ආවම ගහන තෙලක් ගැන නෙමෙයි. අපි හැමදාම අහන දකින උද්ඝෝෂණ, සත්‍යග්‍රහ ගැන නෙමෙයි. අපි අසරණ වෙන ඒ හැඟීම ගැනයි කියන්න ඕන. 

ඔව් බන්. "විප්ලවවාදියෙක් බිහිවෙන්නෙ හදේ ගැඹුරම තැනක උපදින ආදරය පිළිබඳ මහා බරැති හැඟීමකින්" කියලයි චේ ගුවේරා කිව්වෙ. ඒත්, අරගලය සහ ආදරය කියන්නෙ තෝරගන්න ඕන වෙනස් පාරවල් දෙකක් කියලා මේ සමාජෙ අපිට පෙන්නනකොට අපි තවත් අසරණ වෙනවා. අපිට කරන්න පුළුවන් කැපකිරීම්වල සීමාව රාමු කරන්න වෙනකොට, දායකත්වය දක්වන්න පුළුවන් ප්‍රමාණය කුඩා වෙනකොට ත්‍රිමාලා වෙනුරලා ඉස්සරහ අපි අසරණ වෙනවා. 

අපි අතරමං වෙලා බන්. උන් අපිව අතරමං කරලා. අන්න ඒකයි පරාර්ථකාමී අරගලයත් ආත්මාර්ථකාමී ආදරයත් දෙකක් නෙමෙයි එකක් කියලා හිතන්න පුළුවන් විප්ලවවාදි හිතක් උඹටත් මටත් තියෙන්න ඕන. මේ ගඳගහන, පල්වුණු, නරුම සමාජෙ මොනවා කිව්වත් විශ්වාස කරපන්, 
ආදරය කියන්නෙත් අරගලයක් සහෝදරයා....


No comments:

Post a Comment