Wednesday, June 10, 2020
...අවසානයට පසු
පළමු මිනිසා කවුද?

Wednesday, May 6, 2020
අම්මා සහ මිහිකත
රාහු කේතු

Monday, April 27, 2020
අවුරෝරා
මේ විශ්වය පුරා අපට දැකගන්න පුළුවන් අපූර්ව සංසිද්ධි බොහොමයක් තිබෙනවා. 'අවුරෝරා' කියන්නෙත් එවැනි චමත්කාරජනක ස්වාභාවික සංසිද්ධියක්. නමුත් සමකාසන්න රටක් වශයෙන් 'අවුරෝරා' කියන වචනය අපට කිට්ටු නෑ. එහෙත් වෙනත් ආකාරවලින් මේ නම අපට අහන්න ලැබිලා තිබෙනවා. විශේෂයෙන් 1917 රුසියානු විප්ලවයෙදි සාර් රජුගේ ශීත මාළිගයට පහරදීමට යොදාගැනුණු යුධ නැවේ නම අවුරෝරා. තවද ග්‍රීක දෙවියන් අතරින් හිමිදිරියට අධිපති දෙවඟන වන්නේත් අවුරෝරා දෙවඟන. එම දෙවඟනගේ නමින් තමයි මෙම සංසිද්ධියත් නම් කරන්නෙ.
සූර්යයාගේ මතුපිට සිදුවන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන් නිසා තාපය, ආලෝකය මෙන්ම විවිධ ආරෝපිත අංශූන් නිකුත් වෙනවා. අප මෙය 'සූර්යය සුළඟ' ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් මෙසේ පිටවන ආරෝපිත අංශු වන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන අධික වේගයෙන් විසිරී යනවා. පෘථිවි සීමාවේදී පෘථිවියේ චුම්භක ක්ෂේත්රය නිසා මෙම අංශු උත්තර හා දක්ෂිණ ධ්රැව ප්‍රදේශ වලට ඇදී යනවා. එහිදී අපේ වායුගෝලයේ ඇති වායු වර්ගවල මෙම ආරෝපිත අංශු ගැටෙනවා.
මෙම ගැටීම් නිසා වායු පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම්වලට ගමන් කරනවා. එවිට එම පරමාණු ශක්තිය අධික, අස්ථායි තත්ත්වයට පත්වෙනවා. නැවත ස්ථායි වීමේදී එම ශක්තිය ෆෝටෝන ලෙස පිටකරනවා. ඒ නිසා විවිධ වර්ණවල ආලෝකයන් නිකුත්වෙනවා. මෙන්න මේ නිසා අපට ධ්‍රැවාසන්න ප්‍රදේශවල අහසේ විවිධ වර්ණ වලින් යුත් අලංකාර රටා දැකගන්න පුළුවන්. මේ චමත්කාරජනක සංසිද්ධිය තමයි 'අවුරෝරා' නමින් හඳුන්වන්නෙ.
සාමාන්‍යයෙන් සැතපුම් 60ක් පමණ ඉහළ ස්ථරවල ඇති ඔක්සිජන් අණුවල ගැටීමෙන් කහ/කොළ පැහැයක්ද, සැතපුම් 200ක් පමණ ඉහළ ස්ථරවල ඔක්සිජන් සමඟ ගැටීමෙන් රතු පැහැයක්ද නිකුත්වෙනවා. නයිට්රජන් වායු අණු සමඟ ගැටීමෙන් නිකුත්වෙන්නෙ දම්/රෝස වැනි පැහැයක්. මෙසේ විවිධ ස්ථරවල ඇති විවිධ වායු අණු සමඟ ගැටීමෙන් විවිධ වර්ණ හටගන්නවා. ඒ වගේම මේවා නොයෙක් අලංකාර රටා වලින්ද දැකගන්න පුළුවන්.
උත්තර ධ්‍රැවයේ හටගන්නා මෙම ආලෝක Aurora borealis ලෙසද, දක්ෂිණ ධ්‍රැවයේ හටගන්නා ඒවා Aurora australis ලෙසද හඳුන්වනවා. මේවා නිරීක්ෂණය පහසු වෙන්නෙ ශීත කාලවල. එම කාලවල ඉතා දිගු රාත්‍රියක් පවතින නිසා පැහැදිලිව දැකගන්න පුළුවන්.
අප ජීවත්වන මේ පෘථිවිය ඇතුළු විශ්වය අපූර්වතම වාසස්ථානයක්. විශාල පුදුමයන් හා අභිරහස් බොහොමයක් අප අතර පවතිනවා. සොබාදහම සම්බන්ධ දැනුම ගවේෂණයෙන් අපට බොහෝ විශ්මයජනක තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒවායේ විද්‍යාත්මක පසුබිමද හදාරන්න පුළුවන්. දුර ඈත පිහිටි තාරකා, ග්‍රහ වස්තු වලට අපගේ ඉරණම් බාර නොදී, නිවැරදිව ලෝකය තේරුම් ගැනීම සඳහා දැනුම ගවේෂණය කිරීම ඉතාමත් වැදගත්.
මේ link එකෙන් අවුරෝරා වල photos බොහොමයක් බලන්න පුළුවන්. https://unsplash.com/s/photos/aurora-borealis
Saturday, April 25, 2020
කොරෝනා දුන් වල්ගාතරු?

Tuesday, April 14, 2020
සියවසක් පවත්නා දවස
නොනිමි කවිය සේකර
Monday, April 13, 2020
වෛරස
කවුද මේ වෛරස
වෛරස කියන්නෙ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක්. දෙවන ලෝක යුද්ධයට පසුව ලෝකයේ ඇතිවුණු දරුණුතම ව්‍යසනය ඇති කරන්න පුංචි වෛරසයකට පුළුවන් වෙලා තිබෙනවා. ඒ නිසා වෛරස පිළිබඳව සරල විද්‍යාත්මක හැඳින්වීමක් ඉදිරිපත් කරන එක තමයි මේ ලිපියෙ අරමුණ.
වෛරස කියන්නෙ ජීවියෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් ජීවියෙක්ද නැද්ද කියලා තීරණය කරන ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ශ්වසනය, පෝෂණය, බහිස්‍රාවය හා ප්‍රජනනය වගේ ලක්ෂණ ජීවින් සතුව තිබිය යුතුයි. නමුත් වෛරස ජීවී ලක්ෂණයක් ලෙස බොහෝවිට පෙන්වන්නෙ ප්‍රජනනය හෙවත් තම වර්ගයා බෝ කිරීම පමණයි. ඒ සඳහාත් වෛරසයක් අනිවාර්යයෙන්ම වෙනත් ජීවියෙකුගෙ දේහයේ සෛලයක් තුළට ඇතුල් විය යුතුයි. මේ නිසා වෛරස ජීවියෙක් විදියට නොසලකා, ආසාදන ඇති කිරීමේ හැකියාවක් සහිත අංශුවක් විදියටයි සලකන්නෙ.
20nm - 300nm පමණ වන ඉතාමත් කුඩා අංශු විශේෂයක් වන වෛරස නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂයක් භාවිතයෙන් පමණයි. ඒ වගේම විවිධාකාර හැඩ සහිත වෛරස වර්ග තිබෙනවා. විසිතල, හේලික්සාකාර, සූත්‍රිකාකාර, හිස හා වලිගය ආකාර කියන්නෙ එවැනි හැඩ කිහිපයක්. පෘථිවිය පුරාම පැතිරුණු වෛරස දර්ශ මිලියන ගණනක් තිබෙනවා. මිනිසුන්ට සතුන්ට පමණක් නෙමෙයි ශාකවලටත් කොටින්ම බැක්ටීරියා වලටත් ආසාදනය වෙන්න වෛරස වලට පුළුවන්. ශාක වලට ආසාදනය වන වෛරස ශාක වෛරස ලෙසත්, සතුන්ට ආසාදනය වන වෛරස සත්ත්ව වෛරස ලෙසත්, බැක්ටීරියා වලට ආසාදනය වන වෛරස බැක්ටීරියා භක්ෂක වෛරස ලෙසත් අපට වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නෙ කිසිම ජීවියෙකුට වෛරස වලින් බේරිලා ඉන්න පුළුවන් කමක් නෑ.
එක් වෛරසයක් සැලකුවම එහි පිටතින්ම තිබෙන්නෙ ප්‍රෝටීන සංයෝගවලින් හැදුණු ප්‍රෝටීන කොපුවක්/ආවරණයක්. වෛරසයේ හැඩය තීරණය වෙන්නෙ, වෛරසයට ආරක්ෂාව ලැබෙන්නෙ මේ ප්‍රෝටීන කොපුව නිසා. ප්‍රෝටීන කොපුවට ඇතුළතින් තිබෙන්නේ වෛරසයේ හරය. එහි අපි වෛරස ගෙනෝමය කියලා හඳුන්වන ප්‍රවේණික ද්‍රව්‍යය තිබෙනවා.
ප්‍රවේණික ද්‍රව්‍යය විදියට ක්‍රියාකරන්නෙ න්‍යෂ්ටික අම්ල (nucleic acid). න්‍යෂ්ටික අම්ල වර්ග දෙකක් තිබෙනවා. Deoxyribo Nucleic Acid (DNA) හා Ribo Nucleic Acid (RNA). සාමාන්‍යයෙන් ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍යය වෙන්නෙ DNA පමණයි. නමුත් වෛරස වල RNA පවා ප්‍රවේණික ද්‍රව්‍යය විදියට ක්‍රියා කරනවා. නමුත් කිසිම විටක වෛරස වල DNA හා RNA දෙකම එකවිට පවතින්නෙ නෑ.
වසූරිය වෛරසය, හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය හා බොහෝ බැක්ටීරියා භක්ෂක වෛරස වල DNA ත් ඉන්ෆ්ලුවන්සා වෛරසය, HIV, සරම්ප වෛරසය හා බොහෝ ශාක වෛරසවල RNA ත් පිහිටා තිබෙනවා.
ඒ වගේම හරය තුළ එන්සයිම එකක් හෝ කිහිපයක් පවතින්න පුළුවන්. පොලිමරේස් එන්සයිමය වෛරසයේ න්‍යෂ්ටික අම්ල (DNA හෝ RNA) ගුණනය වෙන්න උදව් වෙනවා. රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් එන්සයිමය වෛරසයේ RNA මඟින් DNA සංස්ලේෂණය කරන්න උපකාරී වෙනවා.
සමහර සත්ත්ව වෛරස වල ආවරණ කොපුවෙ ග්ලයිකො ප්‍රෝටීන වලින් හැදුණු කණ්ඨක පිහිටනවා. අපි දකින වෛරස ඡායාරූප වල උල් හැඩයෙන් තිබෙන්නෙ මෙම කණ්ඨක. යම් පෘෂ්ඨයක ඇලී ඉන්න මේවා උදව් වෙනවා.
වෛරසයක් ජීවී සෛලයක් අසළට පැමිණියාම සෛලයේ පිටත පෘෂ්ඨය තදින් අල්ලා ගන්නවා. ඉන්පසු වෛරස හරයේ ඇති ද්‍රව්‍යය (න්‍යෂ්ටික අම්ල හා එන්සයිම) සෛලය තුලට නිකුත් කරනවා. මෙම ද්‍රව්‍යය සෛලයේ සම්පූර්ණ පාලනය තමන් අතට ගන්නවා. සෛලය මෙතෙක් සිදුකල සියලු ක්‍රියා නවත්වලා වෛරසයට අවශ්‍ය ප්‍රෝටීන සංස්ලේෂණය කරන්න හා න්‍යෂ්ටික අම්ල ගුණනය කරගන්න මෙම සෛලය භාවිතා කරනවා. මේ අලුත් ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල එකතු වෙලා නව වෛරස විශාල ප්‍රමාණයක් නිපදවා සෛලයත් විනාශ කරගෙන පිටවෙනවා. ඔය විදියටයි ජීවි සෛල ඇතුලෙදි වෛරස තම වර්ගයා බෝ කිරීම සිදුකරන්නෙ.
වෛරස වලට තනිවම සංචරණය කරන්න හැකියාවක් නෑ. ඒ නිසා සෘජු ස්පර්ශය, වාහකයින් (මදුරුවන්) , කෙළ බිඳිති ආදී ආකාර වලිනුයි වෛරස සම්ප්‍රේෂණය වෙන්නෙ.
දුම්කොළ පත්‍ර විචිත්‍ර රෝගය, ටියුලිප්මේනියාව ආදි ශාකවලට සෑදෙන වෛරස් රෝග විශාල ප්‍රමාණයක් තිබෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව, වසූරිය, ජලභීතිකාව, පෝලියෝ, ඒඩ්ස්, ඩෙංගු, සෙංගමාලය, පැපොල, සරම්ප, කම්මුල්ගාය, කහ උණ හා covid-19 කියන්නෙ වෛරස මඟින් මිනිසාට සෑදෙන රෝග කිහිපයක්
සාමාන්‍යයෙන් ඕනෑම ජීවියෙක්ගෙ ප්‍රවේණික ද්‍රව්‍යය (DNA) ප්‍රතිගුණනය වෙනකොට අහඹු ලෙස වැරදීම් වෙන්න පුළුවන්. මේ නිසා විකෘති හටගන්නවා. DNA වලටත් වඩා RNA ප්රතිගුණනයේදි මේ වගේ විකෘති හටගැනීමේ හැකියාව වැඩියි.
ඒ නිසා වෛරස වල න්‍යෂ්ටික අම්ල (DNA හෝ RNA) ප්‍රතිගුණනය වීමේදී විකෘති ඇතිවෙලා වෙනස් වෙනස් වෛරස් ප්‍රභේද ඇතිවෙන්න තිබෙන හැකියාව වැඩියි. ජීවියාගෙන් ජීවියාට වගේම එකම ජීවියෙකුගෙ සෛලයෙන් සෛලයටත් වෙනස්වීම් වලට භාජනය වුණු වෛරස නිපදවෙනවා. එමනිසා මෙම රෝගවලට ප්‍රතිකාර කිරීමත් මර්දනය කිරීමත් ඉතාමත් අපහසුයි. නව වෛරස් ප්‍රභේද ඉදිරියටත් බිහිවීමට තිබෙන හැකියාව වැඩියි.
කොරෝනා කියන්නෙ වෛරස වර්ගයක් නෙමෙයි, වෛරස පවුලක්. සෙම්ප්රතිශ්යාවෙ ඉඳලා දරුණු ශ්වසන රෝග දක්වා රෝගාබාධ ඇතිකරන්න මෙම පවුලේ වෛරස වලට පුළුවන්. සාමාන්‍යයෙන් සතුන් අතර පැවතිලා මිනිසුන්ට සම්ප්‍රේෂණය වෙනවා. තවම මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවුණු වෛරස් වර්ගත් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරස වල ප්‍රවේණික ද්‍රව්‍යය විදියට තිබෙන්නෙ RNA අණුවක්. SARS, MERS, නවකොරෝනා (nCoV) කියන්නෙ මෙම පවුලට අයත් වෛරස වර්ග. නව කොරෝනා වෛරසය මඟින් සෑදෙන රෝගී තත්ත්වය COVID-19 ලෙස හඳුන්වනවා.
කලින් සඳහන් කරපු විදියට වෛරස රෝග වලට ප්‍රතිකාර කිරීම අපහසුයි. ඒ නිසා වැදගත් වෙන්නෙ රෝගයෙන් ආරක්ෂා වීම හා රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම. මේ වනවිටත් ඒ සඳහා සෞඛ්‍ය අංශවලින් උපදෙස් මාලාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීමෙන් මේ ව්‍යසන තත්වයෙන් ගොඩ එන්න අපට පුළුවන්.
නවකොරෝනා වෛරසයේ ඉලෙක්ට්‍රොනික අණ්වීක්ෂීය ඡායාරූප කිහිපයක් මේ link එකෙන් බලන්න පුළුවන්.
http://www.mri.gov.lk/2020/02/15/images-of-new-coronavirus-just-released-by-livescience-com/